අධ්‍යාපන පරිපාලනයේ අතිරික්ත නිලධාරින් සිටියත් විශ්‍රාමිකයින්ට දිගින් දිගටම සේවා දිගු - ලංකා ගුරු සංගමය

අධ්‍යාපන පරිපාලනයේ අතිරික්ත නිලධාරින් සිටියත් විශ්‍රාමිකයින්ට දිගින් දිගටම සේවා දිගු - ලංකා ගුරු සංගමය

බස්නාහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ අතිරික්ත නිලධාරීන් සිටියදී විශ්‍රාමික නිලධාරීන්ට දිගින් දිගටම ආණ්ඩුකාරවරයා සේවාදිගු ලබාදෙන බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගේ අත්සනින් යුතු 2024.01.18 දිනැති GOS/ADM/8/6/24 අංකයෙන් යුතකු ලිපිය මගින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරිණියක වන එල්.එච්.ඩබ්.ආර්. සිල්වා මෙනවිය බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන) තනතුරට වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත පත් කර ඇත. මේ වන විට බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තුළ සිටින බොහෝ ප්‍රධාන නිලධාරීන් විශ්‍රාම යා යුතු වුවත් ආණ්ඩුකාරවරයා විසින් සේවා දිගු ලබාදීම මගින් එම තනතුරුවල රඳවා ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙසේ සේවා දිගු ලබා දී හෝ විශ්‍රාම යාමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් රඳවාගෙන සිටින්නේ බස්නාහිර පළාත තුළ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ නිලධාරීන් 164 ක් අතරික්තව සිටින වාතාවරණයක් තුළය. මේ වන විට බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තුළ අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ අනුමත නිලධාරීන් සංඛ්‍යාව 244 ක් වන අතර, දැනට තනතුරුවල සිටින නිලධාරීන් ප්‍රමාණය 408 කි. ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 164 ක් අතරික්තව සිටියි.

සක්‍රිය සේවයේ සිටින නිලධාරීන් අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට පත් නොකර විශ්‍රාමික නිලධාරීන් බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතියේ ප්‍රධාන තනතුරුවල මේ ආකාරයෙන් රඳවා සිටින්නේ කිසිදු  පදනමකින් තොරවය. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් අත්තනෝමතිකව දේශපාලන හා වෙනත් උවමනාවන් මත මේ ආකාරයට විශ්‍රාමික නිලධාරීන් බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තුළ දිගින් දිගටම රඳවා ගැනීම හේතුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තවදුරටත් පිරිහීමට ලක්වන අතර, සක්‍රිය සේවයේ සිටින නිලධාරීන්ට එම තනතුරු ලැබීමට තිබෙන අවස්ථාව ද අහිමි වේ.

මේ තත්වය පිළිබඳව අවධානය යොමු කර දැනට බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තුළ සේවා දිගු ලබා සිටින හෝ කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා සිටින නිලධාරීන් ඉවත් කර එම තනතුරු සඳහා සක්‍රිය සේවයේ නිලධාරීන් පත් කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.