හොර දොස්තරලා ව්‍යාප්තවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය වෘත්තීය සමිති සෘජුව වග කිව යුතුයි - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

හොර දොස්තරලා ව්‍යාප්තවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය වෘත්තීය සමිති සෘජුව වග කිව යුතුයි - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

නිසි සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව මේ වන විට හෙළිවී ඇත. රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරුන් ද පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට ලියාපදිංචි වී නොමැති තත්ත්වයක් යටතේ හොර වෛදවරු ඇල්ලීම පහසු නොවන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

ඖෂධවේදීන්, රසායනාගාර ශිල්පීන්, වෛද්‍ය ශිෂ්‍යයන්, හෙද හෙදියන්, රෝහල් සාත්තු සේවකයන් , ආයුර්වේද හෝ හෝමියෝපති වෛද්‍යවරුන්, චීන කටු වෛද්‍යවරුන්, ඇතැම් විට වෛද්‍යවරුන්ගේ ස්වාමිපුරුෂයන් හෝ බිරින්දෑවරුන් ආදී ලෙස විවිධ කණ්ඩායම් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් විරෝධී වෛද්‍ය මධ්‍යස්ථාන තුළ වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන බව දැන් කරුණු අනාවරණය වී ඇත.

අපේ රටේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පෞද්ගලික රෝහල් හා පෞද්ගලික වෛද්‍ය සේවාව නියාමනය සඳහා 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය නියාමන පනත ස්ථාපිත කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය දුර්වලතා මත පෞද්ගලික නියාමන කොමිෂන් සභාව නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා තවදුරටත් පෙන්වා දෙයි.

රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන්ද මෙම පෞද්ගලික නියාමන කොම්ෂන් සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය වන නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති මැදිහත්වීමක් නොමැති නිසා රජය රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ද පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට ලියාපදිංචි වී නොමැති තත්ත්වයක් යටතේ අවශේෂ වෛද්‍යවරුන් හඳුනාගැනීම් හෝ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බලවත් බාධාවක් බව ඔහු පෙන්වා දෙයි.

යම්කිසි ප්‍රදේශයක ව්‍යාජ වෛද්‍යවරුන් සිටී නම් ඔවුන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සතුවන අතර අදාළ බලධාරීන් මෙම කාර්ය ඉෂ්ඨ නොකිරීම නිසාද වෛද්‍යවරුගේ වෘත්තිය සමිති වල සාමාජිකයන් වැඩි ප්‍රමාණයක්ද පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට ලියාපදිංචි වී නොමැති තත්ත්වයක් යටතේ ප්‍රදේශයේ සිටින හොර වෛද්‍යවරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම ට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුන් මැලි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවබෝධ කර ගත යුතු බවද ඔහු සඳහන් කළේය .

තවද පෞද්ගලික වෛද්‍ය නියාමන කොමිෂන් සභාවේ වැඩි බලයක් පෞද්ගලික අංශය රෝහල් හිමිකරුවන් අත්පත් කර කර තිබීමත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ඇතුළු රජයේ නිලධාරීන් එම නියාමන සභාව තුළ සක්‍රිය නොවන නිසා හොර වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන නමුත් ඒවා සම්බන්ධ විසින් විමර්ශනයක් සිදු නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අනුව හොර වෛද්‍යවරුන් ඇල්ලීමට පෙර රජය රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් පළමුව නිසි නියාමනයට යටත් කොට ලියාපදිංචි වීමක් සිදු කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය වගකීම බවද ඔහු සඳහන් කළේය.

එසේ නියාමනයක් සිදු කළහොත් එක් දිනක් තුළ හොර වෛද්‍යවරුන් නීතිය හමුවට පැමිණවීමට බාධාවක් නොවන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.