ඇයි අපි කන්නෙ අඳින්නේ නැද්ද?

ඇයි අපි කන්නෙ අඳින්නේ නැද්ද?

මතකද ගියවර මැයි දිනේදි අපි කිව්වා මේ රටේ අවම මාසික ජාතික වැටුප රුපියල් 50,000 ක් කළ යුතුයි කියලා? ඒ කිව්වේ අපට අපේ ජීවිත නඩත්තු කරන්න අපි බලාපොරොත්තු වන අවම වැටුප නෙවෙයි. ඒ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියුව මිල ගණන් අනුව, යාන්තමින් කන්න ඇඳලා ඉන්න අවශ්‍ය අවම මාසික පඩියයි.

ආණ්ඩුව දැන් පිළිඅරගෙන තියෙනවා අපේ ඉල්ලීම සාධාරණයි කියලා. ඒ නිසා තමයි වතු පාලක කොම්පැනි පඩි වැඩි කරන්න බැහැ කිව්වත් ආණ්ඩුව නීති මගින් වතුකරයේ දිනක සේවක වැටුප රුපියල් 1,700 ක් කෙරුවේ. ඒ කියන්නේ දැන් වැවිලිකරයේ මාසික වැටුප රුපියල් 44,200 ක්. අපි කියන්නේ ඒක අවම රුපියල් 50,000 ක් විය යුතුයි කියලා. දිනක අවම වැටුප රුපියල් 2,000 ක් විය යුතුයි කියලා.

මේ රටේ එදිනෙදා ජීවිත ගෙවන්න අත්‍යාවශ්‍ය භාණ්ඩ - සීනි, පිටි, පරිප්පු විතරක් නෙවෙයි, ඉස්පිරිතාල වලට බෙහෙත් ටික ගෙන්වන්නේත්, විදුලිය නොකපන්න ඩීසල් ගෙන්වා ගන්නේත්, මගී ප්‍රවාහනයට - ලොකු ලොක්කන්ට පෞද්ගලික ගමන් යන්න පෙට්‍රල්-ඩීසල් පවා ගෙන්වන්නේත්, කුඹුරු වලට පොහොර, කෘමි නාෂක ගෙන්වන්නේත් ෂඵත්‍ ආධාර වලින් නෙවෙයි. කෝටි ගණන් බදු මුදල් වංචා කරන ජාවාරම්කාරයින්ගේ සල්ලි වලිනුත් නෙවෙයි. වැවිලිකරයේ කම්කරුවන් සහ ඇඟළුම් කර්මාන්තය ඇතුළු අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ අප හැමෝගෙම දහඩිය මහන්සියෙන් අපි උපයලා දෙන ඩොලර් බිලියන 11 ක් 12 ක් එකතු කරගෙන තමයි හැම ආණ්ඩුක්ම ඒ හැම දේම කරන්නේ කියලා, අමතක කරන්න එපා.

ඒ නිසා අපටත් කන්න අඳින්න පුළුවන් තරමේ අවම මාසික වැටුපක් ඉල්ලා සිටින්න අයිතියක් තියෙනවා. අයිතිය වගේම, ජීවන වියදමට ඔරොත්තු දෙන්න පුළුවන් වැටුපක් ලැබීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒ නිසා, වැවිලිකරයේ සහෝදර සේවක සේවිකාවන්ට ලබා දුන් වැටුප් වැඩි කිරීම අනුව, අවම මාසික රුපියල් 50,000 ක වැටුපක් ඇඟළුම් කර්මාන්තය සහ අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ සියල්ලන් ඇතුළු පෞද්ගලික අංශයේ අප සැමට ලබා දෙන්න යැයි සංවිධානාත්මක ඉල්ලීමක් අප වහා ඉදිරිපත් කළ යුතුයි.

ඒ වෙනුවෙන් එකතු වෙමු. සංවිධානය වෙමු.

(නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් බෙදාහරින ලද පත්‍රිකාවකි)