වතු වැටුප රු. 1700 කරන ගැසට්ටුවට අතුරු තහනමක්

වතු වැටුප රු. 1700 කරන ගැසට්ටුවට අතුරු තහනමක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමිය යුතු බවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැයි 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(04දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම ඊයේ කැඳවිණි.

පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් කම්කරු ඇමැතිවරයා විසින් ඉකුත්දා නිකුත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර කර තිබිණි.

එම පෙත්සම් ඉකුත් ජුනි 3 වැනිදා සලකා බැලූ අතර අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දුන් අභියාචනාධිකරණය වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.

නමුත් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.

අභියාචනාධිකරණය විසින් ලබා දුන් එම තීරණය නීතියට පටහැනි බවත් කම්කරු අමාත්‍යවරයා විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම නැවත ලබන වසරේ පෙබරවාරි 18 කැඳවීමට නියමිතයි.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.

වතු සමාගම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා හා ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියහ.

(දිවයින)