ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිත සමුළුව

ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිත සමුළුව
  • රාජ්‍ය බැංකු ඇතුළු මහජන දේපළ විකිණීමට, අසාධාරණ කම්කරු නීති පැනවීමට එරෙහි
  • 14 වැනි ජාතික නියෝජිත සම්මේලනය ජූලි 05 වැනිදා මහරගම තරුණ මධ්‍යස්ථානයේ දී

නාමික නිදහසින් පසුව මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයට අප රට මුහුණ දෙමින් සිටින මොහොතක, අසාර්ථක බව 16 වතාවක්ම තහවුරු වී ඇති ෂඵත්‍ උපදෙස් හා නියෝග 17 වන වරටත් රට තුළ ක්‍රියාත්මක කිරීමට පාලකයින් කටයුතු කරමින් ඇති අතර, ෂඵත්‍ යෝජනාවලට අනුගත වෙමින් රාජ්‍ය බැංකු, විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව, ටෙලිකොම්, රක්‍ෂණ සංස්ථාව, තැපැල් වැනි රටටත්, මහජනතාවටත් සේවය සපයන රාජ්‍ය ආයතන විකිණීමට කුමන්ත්‍රණ සිදුකරමින් පවතී. රාජ්‍ය දේපල විකිණීම තුළින් රට සංවර්ධනය වූයේ නම් විකුණා දැමූ දේපල ලැයිස්තුව සළකා බැලීමේදී අප රට තරම් සංවර්ධිත රටක් ලෝකයේ තවත් කවර තැනකවත් නොතිබෙනු ඇත.

රාජ්‍ය දේපල විකිණීම හා මහා පරිමාණ බදු පැහැර හැරීම් නිසා රටට අහිමි වන රාජ්‍ය ආදායම් උපයා ගැනීමට, ජනතාව මත අසීමිත බදු බරක් පතිත කිරීමට පාලකයින් කටයුතු කරමින් ඇති අතර, උපයනවිට අය කරන බදු බර දරාගත නොහැකිව වෘත්තිකයන් තොග පිටින් රට හැර යාම නිසා අනාගතයේදී රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සියලුම ක්‍ෂේත්‍රවලට තීරණාත්මක අභියෝගයක් එල්ල කරනු ඇත. එසේම දශක අටකට ආසන්න පාලනය තුළ අප රටේ පාලකයින් විසින් ගෙන යන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති තුළ විනාශ කර ඇති ආර්ථිකයේ සමස්ත බර සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ ෑඡත්‍ල ෑඔත්‍ ඇතුළු සමාජ ආරක්‍ෂණ අරමුදල් මත පතිත කිරීමට පාලකයින් කටයුතු කර ඇත.

සාමාන්‍ය වැඩ කරන ජනතාව මත අනපේක්‍ෂිත අයුරින් පතිතකර ඇති ආර්ථික පීඩනය සමනය කරගැනීමට පවතින විකල්පය වන වැටුප් හා දීමනා වැඩිකර ගැනීම සඳහා වූ සාමූහික ගිවිසුම් අයිතිය ද මර්දනය කිරීමට පාලකයින් කටයුතු කරමින් සිටින අතර, රාජ්‍ය බැංකු සඳහා බැංකු කළමනාකාරීත්වයන් විසින් නිර්දේශ කරන ලද වැටුප් වැඩි කිරීමේ ප්‍රතිශතයන් කප්පාදු කිරීමට ද මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්, ගුරුවරුන් හා රටේ සියලුම රාජ්‍ය හා පුද්ගලික ආයතන සේවකයින් වැටුප් වැඩිකර ගැනීමේ සටනකට අවතීර්ණ වී තිබේ.   

මෙම සියලු අහිතකර තත්වයන්ට එරෙහිව නැඟී සිටින කම්කරු පන්තිය මර්දනය කිරීම සඳහා අසාධාරණ ඒකීය කම්කරු නීතියක් බලාත්මක කිරීමට පාලකයින් උත්සාහ දරමින් සිටින අතර, ප්‍රතිත්‍රස්ත පනත, සමාජ මාධ්‍ය ආරක්‍ෂණ පනත වැනි මර්දනීය අණ පනත් හරහා සමස්ත සටන් කරන බලවේග ත්‍රස්තවාදීන් ලෙසට නම් කරමින් ඔවුන්ගේ හඬ යටපත් කිරීමට පාලකයින් උත්සාහ ගනිමින් සිටී.

රට තුළ ගොඩනැඟෙමින් පවතින මෙම සියලු තත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින්,

■          රාජ්‍ය බැංකු ඇතුළු මහජන දේපළ රාජ්‍ය අයිතියෙන් බැහැර නොකිරීමට,

■          අසාධාරණ ඒකීය කම්කරු නීතිය බලාත්මක නොකිරීමට,

■          වෘත්තිකයන් මත පනවා ඇති දැරිය නොහැකි බදු බර පහත හෙලීමට,

■          ජීවත්වීමට සරිලන පරිදි ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක් ලබාදීමට,

■          නොගෙවා ඇති මහා පරිමාණ බදු අය කිරීමට,

■          රාජ්‍ය බැංකු වලින් ලබාගෙන නොගෙවා ඇති ණය මුදල් අය කිරීමට,

■          රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල පැවැත්ම සුරක්‍ෂිත කිරීමට,

■          නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය තහවුරු කිරීමට,

■          තාක්‍ෂණික මෙවලම් යොදා ගනිමින් රැකියා අහිමි නොකිරීමට, 

බල කෙරෙන,

ජාතික හා ජාත්‍යන්තර පුළුල් කම්කරු එකමුතුවක් ගොඩනැගීමට කටයුතු යොදා ඇත.        

සංගමයේ ජාත්‍යන්තර සබඳතාවන්හි ශක්තිමත්භාවය තහවුරු කරමින් සම්බන්ධවීමට නියමිත WFTU - World Federation of Trade Unions / UNI Global - Asia Pacific / AIBEA - All India Bank Employees' Association / NUBE - National Union of Bank Employees - Malaysia / FIEUN - Financial Institutes Employees' Union of Nepal යන සංවිධානයන්හි නියෝජිතයින්ගේ ද, දේශීය ස්වාධීන වෘත්තීය සමිති නායකයින්ගේ ද සංගමය නියෝජනය කරනු ලබන සියලුම බැංකුවල කළමනාකාරීත්වයේ නියෝජිතයින්ගෙන් ද සහභාගීත්වයෙන් මෙම සම්මේලනය පැවැත්වීමට සංගමය අපේක්‍ෂා කර සිටී.

රටටත්, පොදු මහජනතාවටත්, සමස්ත කම්කරු පන්තියටත්, බැංකු පද්ධතියටත් සංගමයේ සාමාජිකත්වය ඇතුළු සමස්ත බැංකු සේවක ප්‍රජාවටත් බලපාන්නා වූ ගැටලු ආවරණය කරමින් සකස් කරන ලද යෝජනා 20 ක්, 14 වැනි ජාතික නියෝජිත සම්මේලනය තුළ සම්මත කිරීමට සංගමය කටයුතු යොදා ඇති අතර, එම යෝජනා මගින් සංගමය පෙන්වා දී ඇති ගැටලු විසඳීමට රටේ පාලකයින්ට අවශ්‍ය බලපෑම් එල්ල කිරීමට සංගමය කටයුතු කරනු ඇත. එසේම සංගමයේ ව්‍යූහාත්මක ශක්තිමත්භාවය ගොඩනැඟීම සඳහා සංගමයේ ව්‍යවස්ථාවට යම් සංශෝධනයන් ගෙන ඒමටද මෙම සම්මේලනයේදී කටයුතු කරනු ඇත.

ගෙවුණු දශක අටකට ආසන්න ඉතිහාසය තුළදී මෙන්ම වර්තමානයේදීත් මතු අනාගතයේදීත් තීරණාත්මක කාර්යභාරයක් උර මත දරා සිටින ලාංකීය වෘත්තීය සමිති ව්‍යාපාරයේ මුල්‍ය ක්‍ෂේත්‍රයේ ශක්තිමත්ම හා සංවිධානාත්මකම වෘත්තිය සමිතිය වන ලංකා බැංකු සේවක සංගමයේ අභිමානවත් 14 වන ජාතික නියෝජිත සම්මේලනය සංගමයේ සියලුම විධායක සභිකයින්ගේ, මධ්‍යම කාරක සභිකයින්ගේ, දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයින්ගේ සහ ශාඛා නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන්, සංගමය සතු සංවිධාන ශක්තිය හා සටන්කාමීත්වය රටේ පාලකයින්ටත්, ලොවටත් විදහා දක්වමින්    පවත්වනු ඇත.

(ලංකා බැංකු සේවක සංගමය නිකුත් කළ නිවේදනයකි)