ඕනෑම වෘත්තිය සමිතියකට තමන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් තියෙනවා. අපි ඒ අයිතියට කිසිසේත්ම බාධාවක් වෙන්නෙ නෑ. නමුත් වෘත්තීය සමිතියකට වෘත්තීය අයිතිවාසිකම් දෙනවාද නැද්ද තීරණය කරන්න ඕන රජය. නමුත් මේකට පරිබාහිර වෘත්තිය සමිතියක් විදියට අපි ඒකට මැදිහත් වෙලා ඒකට උදව් කරන්න හෝ ඒක කඩාකප්පල් කිරීමට අදහසක් නෑ.
කිසියම් වෘත්තිය සමිතියක වෘත්තීය ඉල්ලීමක් සාධාරණද නැද්ද යන්න තීරණය කළ යුත්තේ රජය සහ අදාළ පාර්ශ්වයන්. නමුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේදී රටත් ජනතාවත් පිළිබඳ ගැඹුරින් සිතා බලා එම ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය යුතුයි. අපේ රට ආර්ථික වශයෙන් ගැඹුරු අගාධයකට ගොස් නැවත නැඟිටිමින් පවතින අවස්ථාවක්, එම අවස්ථාවේ අපි විවිධ දේශපාලන කෝණවලින් නොබලා එකමුතුව මෙම අවස්ථාවට මුහුණ දිය යුතුයි. වෘත්තීය සමිති හැටියට දේශපාලන ධාරාවන්ට වාසියක් වන ලෙස නොහැසිරී බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. රට ආර්ථික වශයෙන් ගොඩනඟන එක තනි පුද්ගලයෙක්ට, ජනාධිපතිවරයෙක්ට, රජයකට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒකට අපි හැමෝම එකතු වෙන්න ඕන.
එහෙම වෙන්න ඉඩකුත් තියෙනවා. මොකද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඕන ඊට ගැලපෙන සුදුසු වෙලාවන් වලදී. එහෙම නැතිවෙලාවකදී ඇතිවන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තියෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවලදී සිදු වන්නේ රට අස්ථාවර වී රටේ ජනතාව අගාධයට වැටීම.
රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරන දේ මම කිසිසේත්ම පිළිගන්නේ නෑ. ඒ අවස්ථාවේදී ආචාර්යවරු ඉල්ලීම් කළේ වැටුප් වැඩිවීමක් ගැන නොවේ. ඉහළ ගිය බදු ප්‍රතිශතය අඩුකර දෙන ලෙසයි. මෙම අධික බදු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීන් කිහිපයකටම දරාගන්න බැරි තත්ත්වයක් වුණා. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ එම වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රැකියා අතහැර විදේශගත වෙන්න පටන් ගත්තා. දිගින් දිගටම මේ දේ වුණොත් විශ්වවිද්‍යාල පද්ධතිය කඩාගෙන වැටෙන්න ඉඩ තිබුණා. මොකද විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිධාරියෙක් ක්ෂණිකව හදන්න බෑ. විශේෂඥ වෛද්‍යවරයෙක් දවසෙන් දෙකෙන් හදන්න බෑ. එම අංශ කඩාගෙන වැටීමට හැකි වන නිසා ඔවුන් රඳවා ගැනීමට අපි ඉල්ලුවේ බදු අඩු කිරීමක්. ආණ්ඩුව ඒ ගැන දීර්ඝව ගැඹුරින් කල්පනා කළා. යම්කිසි සහනයක් ලෙස දීමනාවක් ලබා දුන්නේ, මට හිතෙන විදියට ආණ්ඩුවට වුවමනා වුණේ අවම මට්ටමින් හෝ කඩා වැටීමට නොදී මේ ක්ෂේත්‍ර රැක ගැනීම. මේ සඳහා හොඳම පිළියමක් වශයෙනුයි ඒ දීමනාව ගෙව්වේ. මේ පිළිබඳව රජය ඉතා හොඳින් පැහැදිලි කිරීමකුත් කළා. දැන්

එය වැටුප් වැඩි කිරීමක් ලෙස අර්ථකථනය කර විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඊට සමාන්තරව වැටුප් වැඩිවීමක් ඉල්ලන්නේ යැයි අර්ථකථනය කිරීමම වැරදිසහගත ප්‍රකාශයක්. රටේ ඇතිවුණු ආර්ථික කඩාවැටීම නිසා ඇතිවුණු උද්ධමනය වැඩිවීම භාණ්ඩවල මිල ඉහළ යෑම වැනි දේ අපි සියලු දෙනාටම එකසේ බලපානවා. අපි හැම කෙනෙක්ම ඉතා අපහසුවෙන් එයට මුහුණ දී සිටිනවා. නමුත් එවැනි තත්ත්වයක් තුළ අධික බදු බරකුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පැටවුණු නිසයි අපි එම ඉල්ලීම් කළේ. නමුත් රටේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් නැතුව නොවෙයි.
| මහාචාර්ය අරුණ වන්නිනායක
පී. බී. ජයසුන්දර මහතාගේ ලිපිය ගැන කතා කරනවනම් එම ලිපිය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ වන විට අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමට ඉවහල් වුණු කාරණාවක් වෙලා තියෙනවා. අපි යම්කිසි ප්‍රශ්නයකට ලබාදෙන විසඳුම තවත් ප්‍රශ්න දාමයකට හේතු වෙනවානම් එය ප්‍රශ්නයට විසඳුමක් වෙන්නෙ නෑ. මේ ලිපියත් ඒ වගේ එකක්, විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන එක කාරණාවක් තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් හෝ දීමනා වැඩිවීම්වලට සමාන්තරව අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් හෝ දීමනා සංශෝධනය නොකළ යුතු බව, වෙනත් ආකාරයකින් කියතොත් අධ්‍යයන හෝ අනධ්‍යයන කණ්ඩායම්වල වැටුප් හෝ දීමනා සංශෝධනය එකිනෙකාට සම්බන්ධ නොකිරීම. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හැටියට අපි මෙයට තරයේම විරුද්ධ වෙනවා. නමුත් රාජ්‍ය අමාත්‍යවරයා ඉහත පී. බී. ජයසුන්දර ලිපිය පාදක කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩි වූ අධික බදු සඳහා ලබාදුන් සහනයට සමගාමීව විශාල වශයෙන් බදු නොගෙවන පාර්ශ්වයක් වන අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩි විය යුතු යැයි පැවසීම මෙම ක්ෂේත්‍රය තුළ අනවශ්‍ය අර්බුදයක් ඇතිවීමට හේතු වෙනවා. එතුමන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ එසේ නොකරන ලෙසයි. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඕනෑම රටක විශේෂිත ස්වාධීන වෘත්තිකයන් පිරිසක්. ඔවුන්ගේ වෘත්තිය දේශන පැවැත්වීම පමණක් නොවේ. විශ්වවිද්‍යාලය රට වෙනුවෙන් පර්යේෂණ කිරීම, අලුත් දැනුම ගොඩනැංවීම, විශ්වවිද්‍යාලයෙන් පිටත පරිපාලන කටයුතුවල නියැළීම, ජාතික සේවාවන්වල යෙදීම යනාදී දිගු පරාසයක විහිදෙනවා. එවැනි වෘත්තිකයකුගේ සේවාවට ලැබෙන වැටුප අනධ්‍යයන සේවකයකු සමග ගළපා ලබාදීම කෙතරම් ගැළපෙන්නේ ද? ආචාර්යවරු විරුද්ධ වන්නේ මෙම කාරණාවටයි. නමුත් රජයට හැකිනම් අනධ්‍යයන සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා දෙන්න අපි එයට විරුද්ධ නෑ.
රජයේ නිලධාරීන්ගේ/සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් රජය සතුව තියෙනවා. වැඩි කිරීමක් කළ යුත්තේ ඒ ක්‍රමවේදයට අනුවයි. නමුත් විශ්වවිද්‍යාල උපයන ආදායම කියලා කියන්නේ විශ්වවිද්‍යාලය විසින් උපයා ගන්නා ලද මුදල්වල සංචිතයක්. මුදල් උපයා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්. උදාහරණයක් විදිහට කිව්වොත් පශ්චාත් උපාධිවලින් ලැබෙන ආදායමෙන් කොටසක් මෙම අරමුදලට යනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දෙවන ඉල්ලීම වන්නේ මෙම අරමුදල ආචාර්යවරුන්ගේ හෝ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා භාවිත නොකරන ලෙසයි. එම මුදල් භාවිත කළ යුත්තේ විශ්වවිද්‍යාලයේත් එහි ප්‍රධානම පාර්ශ්වය වන සිසුන්ගේත් අභිවෘද්ධිය සඳහා පමණයි. විශ්වවිද්‍යාල සේවකයන්ගේ වැටුප් ගෙවිය යුත්තේ රජය විසින්. මෙම යෝජනාවත් අර්බුදයක් ඇතිවන බව දැන දැනම විසඳුමක් දුන්නා යැයි පැවසීමට ඉදිරිපත් කරන ලද්දක් ලෙසයි මට පෙනෙන්නේ.
ඇත්තටම මේ වැඩවර්ජනයට මාස දෙකකටත් වඩා වැඩියි. මේ හේතුවෙන් සමහර සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් උපාධිය අවසන්කර පිටවී යෑමට නොහැකිව බලාගෙන ඉන්නවා. විශ්වවිද්‍යාලයෙන් නික්ම ගිය අයට උපාධි සහතිකය ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වෙලා සිටිනවා. සමහර සිසුන්ට රැකියාවලට යෑම සඳහා සහතික ගැනීමට නොහැකි තත්ත්වයට පත්වෙලා තියෙනවා. අනිත් එක මේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණ අවස්ථාවකයි මේ සිදුවීම සිදුවෙලා තියෙන්නේ. සමහර සිසුන් විශ්වවිද්‍යාලයට අයැදුම් කරන අවස්ථාවක්. එහිදී ඒ සිසුන්ට විශ්වවිද්‍යාලය සඳහා අයැදුම් පත්‍ර යොමු කිරීමට පවා අවහිරතා ගොඩනැඟිලා තියනවා. මේක විශ්වවිද්‍යාල සිසුන්ට මුළුමනින්ම බලපාල තියෙන ගැටලුවක්. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවෙලා තියෙනවා. මේක තව පැත්තකින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විශාල වශයෙන් කඩා වැටීමකට හේතු වෙනවා. මොකද මේ වෙලාවෙදී සිසුන් කැමති නැහැ හැමදාම වහලා තියන විශ්වවිද්‍යාලවලට යන්න. ඔවුන් ඒ නිසා උත්සාහ කරනවා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න. එතකොට අපේ විශ්වවිද්‍යාල පද්ධතිය රැක ගැනීම පිළිබඳ සෑහෙන අර්බුදයකට පත්වෙනවා. එහිදී අචාර්යවරුන් විදිහට අපිට පුළුවන් උපරිමයෙන්ම අපි උත්සාහ කරනවා සිසුන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒ නිසා අපි අපේ මුදලින් අන්තර්ජාල පහසුකම් සකසාගෙන මාර්ගගත ක්‍රමයට අධ්‍යයනය කටයුතු සිදු කරනවා. නමුත් ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීම තමයි ප්‍රධාන ගැටලුව. සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සැලසුම් කරමින් සිටිනවා. මේ වන විට සමහර පීඨවල ප්‍රායෝගික පරීක්ෂණ අපි සිදු කරනවා. නුදුරේම අනිත් පීඨවල ප්‍රායෝගික පරීක්ෂණ සිදුකොට සිසුන්ට සාධාරණයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
(දිවයින පුවත්පතේ සුමිඳු වන්නිආරච්චි විසින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු උප සභාපති කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අරුණ වන්නිනායක මහතා සමග සිදුකළ සාකච්ඡාවකි)
