රෝගීන්ගේ ජීවිත අවදානමේ දමා ඇති සෞඛ්‍ය අංශයේ කඩාකප්පල් කරන ආයතන ගැන වහා තීරණ ගත යුතුයි - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

රෝගීන්ගේ ජීවිත අවදානමේ දමා ඇති සෞඛ්‍ය අංශයේ කඩාකප්පල් කරන ආයතන ගැන වහා තීරණ ගත යුතුයි - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව තාක්ෂණික දැනුමක් හෝ සංවේදීභාවයක් නොමැතිව, සෞඛ්‍ය පද්ධතියේ උන්නතිය වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ වලට බාධා කරමින්, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කඩාකප්පල් වන ලෙස කටයුතු කරන කළමනාකරණ සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය වැනි ආයතන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම අවශ්‍ය තීන්දු තීරණ ක්‍රියාත්මක කල යුතු බවත්, එසේ නොවන්නේ නම්, මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් ක්‍රියාත්මක වන සැලසුම්, බලාපොරොත්තු වන ඉලක්ක කරා යාමට අසමත් වීම තුළ අසාධාරණයට සහ අවදානමට පත්වන අහිංසක ජන ජීවිත සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම මෙම ගැටලුවට සම්බන්ධ සියලු පාර්ශව භාරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේචනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේචදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

නිදහසින් පසු අනෙකුත් සියලු අංශ අභිබවා මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ශ්‍රී ලාංකේය කීර්තිනාමය ඉහළටම ඔසවා තබමින් නිරෝගී ප්‍රජාවක් රාජ්‍ය වෙනුවෙන් බිහිකිරීම උදෙසා සිදුකරන ලද මෙහෙය කිසිවෙකුට අභියෝග කළ නොහැක.

ඉදිරි අනාගතයේදී ද ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු රෝගී සත්කාර සේවාවන් වඩා කාර්යක්ෂමව ජනතාවට   ලබාදීමේ අරමුණින් ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සේවාවේ ඉදිරි ගමන් මඟ නිර්මාණය විය යුතුය. ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්හි සහයෝගය සහිතව සෞඛ්‍ය පද්ධතියේ යම් සාධනීය පුළුල් කිරීම් සහ වෙනස්කම්ද මේ වන විට සිදුවෙමින් පවතී. එහිදි, ප්‍රාථමික සහ ද්විතීක සෞඛ්‍ය සේවාවන් මෙන්ම මාතෘ ළදරු ප්‍රතිකාර සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවිමට ප්‍රමුඛතාවය ලබා දී ඇත.  

රට තුළ සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමේදී භෞතික සම්පත් කෙතරම් සපයා දුන්නද, එම සේවාවන් ජනතාවට සමීප කිරීමේදී අත්‍යාවශ්‍යයම සාධකය වනුයේ ගුණාත්මක මානව සම්පතයි.

රට තුළ පවතින සමාජ ආර්ථික අර්බුදය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඉතිහාසයේ නොවූ විරූ ලෙස විශාල ප්‍රමාණයක්  රටට අහිමි වී ඇති බව සියල්ලන්ම දන්නා කරුණකි.

රට පුරාම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සෞඛ්‍ය සේවාවක් සමානාත්මතාවයෙන් යුතුව ලබාදීමට  නම් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මෙන්ම වෛද්‍යවරුන් අවශ්‍යතාවය අනුව සුදුසු පරිදි ස්ථානගත කිරීම ද සිදු කළ යුතුය. එහිදී පුළුල් වෙන සෞඛ්‍ය සේවාවන්ට අනුරූපව එම රෝගී සත්කාර සේවාවන් සැපයීම සඳහා අදාල රෝහල් වෙත ප්‍රමාණවත් වෛද්‍යවරුන් ප්‍රමාණයක් විද්‍යාත්මක ක්‍රමවේදයකට යටත්ව අනුයුක්ත කිරීම ද අනිවාර්ය වේ. එසේම එම වෛද්‍යවරුන් ප්‍රමාණය කාලානුරූපීව යාවත්කාලීන කිරීම ද අත්‍යවශ්‍ය වේ.

එහෙත් පිළිගත නොහැකි සහ විද්‍යාත්මක නොවන විවිධ හේතු දක්වමින් සෞඛ්‍ය සේවාවන් පුළුල් වීමට අනුරූපිව එම සේවාවන් සැපයීමට අවශ්‍ය වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම සඳහා අවසරය ලබාදීම කළමනාකරණ සේවා කොමිෂන් සභාව මඟින් අත්තනෝමතික ලෙස දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටියි. සෞඛ්‍ය අමාත්‍යාංශය එම යාවත්කාලීන කිරීම් වල අවශ්‍යතාවය දක්වමින් සියලු තොරතුරු සහ සාධාරණිකරණයන් ලබා දුන්නද ඒවා ද නොසලකා හරිමින් කළමනාකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කරමින් සිටී.

රජය මඟින් විවිධ ප්‍රතිපාදන යටතේ නව රෝහල් සහ ප්‍රතිකාර ඒකක පිහිටු වීමට සහ සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමට කටයුතු කල ද, මෙම තත්ත්වය යටතේ ඒවාට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම සිදුකළ නොහැකි වී ඇත.

  • කලුතර, ගල්ලැස්ස නව මාතෘ රෝහල - (අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යව - 72/ අනුමැතිය ලැබි ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව - 25)
  • පේදුරුතුඩුව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය - වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත
  • කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ නව මාතෘ ප්‍රතිකාර ඒකකය - වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත
  • මාන්කුලම් මූලික රෝහලේ පුනරුත්ථාපන ඒකකය - වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත
  • උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය - වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත

සෞඛ්‍ය පද්ධතියේ සංකීර්ණත්වය සහ සංවේදීභාවය පිළිබඳව කිසිදු තාක්ෂණික දැනුමක් හෝ අවබෝධයක් නොමැති නිලධාරීන් විසින් කළමනාකරණ සේවා කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කරන අත්තනෝමතික තීරණ හේතුවෙන් අවසානයේ සිදුවී ඇත්තේ, මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් සහ පුළුල් කිරීම් සියල්ල අඩපණ වන තත්ත්වයකට පත්වීමයි.

පසුගිය කාලයේ ජනතාවගේ විශ්වාසය ද අහිමිව දැවැන්ත ඛේදවාචකයක් කරා ගමන් කරමින් පැවති මෙරට සෞඛ්‍ය පද්ධතිය, නැවත ස්ථාවර වෙමින් වඩා සුවිශේෂී මෙහෙවරක් ජනතාව වෙනුවෙන් සිදුකිරීමට සියලු පාර්ශව සමඟ එක්ව සැලසුම් කරද්දී, රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින්ම එම වැඩපිළිවෙළට බාධා කිරීම බැරෑරුම් තත්ත්වයකි.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දිමේදි ද කළමණාකරණ සේවා කොමිෂන් සභාවේ අත්තනෝමතික තීරණ හේතුවෙන් මාස 10 කට අධික කාලයක් ප්‍රමාද වූ අතර අවසානයේ ගැටළුව විසඳිමට හැකියාව ලැබීමේ ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීම නිසාය. එහෙත් දිගින් දිගටම මෙම ගැටළුව විසඳිමට ජනාධිපතිවරයා මැදිහත් කර ගැනීම ප්‍රායෝගික නොවේ.  

ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද, මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමේදී සෞඛ්‍ය ක්ශේත්‍රයට ඉහලම ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව ජනාධිපතිවරයා සහ රජය ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මොහොතක, ජනාධිපතිවරයා යටතේ මුදල් අමාත්‍යාංශය තුළ පවතින කළමනාකරණ සේවා කොමිෂන් සභාවේ මෙම ක්‍රියාකාරීත්වය දැඩි අවධානයට ලක් විය යුත්තකි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු තීරණ ගැනීමේදී, පද්ධතිය පිළිබඳ තාක්ෂණික දැනුමක් සහ සංවේදීතාවයක් සහිත පිරිස් විසින් මෙම තීරණ ගැනීමේ අවශ්‍යතාවය මෙවන් ගැටලු හරහා යළි යළිත් තහවුරු වෙයි.

එමෙන්ම සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කැපවෙන වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයින් පිළිබඳ විමර්ශන සිදුකිරීමේදී ද, රෝගී ප්‍රතිකාර සේවා  සහ එහි පසුබිම ගැන කිසිදු තාක්ෂණික දැනුමක් නොමැති නිලධාරීන් යොදා ගැනීම හේතුවෙන් ගැටලු ගණනාවක් මතු වී ඇත.

වෛද්‍ය විද්‍යාත්මක හෝ තාක්ෂණික කරුණු වෙනුවට පෞද්ගලික න්‍යාය පත්‍ර සහ උපකල්පන මත පිහිටා වෛද්‍යවරුන් ඉලක්ක කර ගනිමින් සිදුකරන විමර්ශන හේතුවෙන්, අවසානයේ සිදු වී ඇත්තේ ජන ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් වෙහෙසෙන වෛද්‍යවරුන් අධෛර්යයට පත්වීමයි. කොවිඩ් වසංගතය සමයේදි අසීමිත කැපකිරීම් කල වෛද්‍යවරුන්ගේ එම කැපකිරීම් පවා නීති විරෝධි යැයි පවසමින් විමර්ෂණ ගණනාවක් ක්‍රියාත්මක වන අතර එහිදි කොවිඩ් වසංගතය යනු සුවිශේෂි තත්ත්වයක් ලෙස නොසලකා මෙම පිරිස් කටයුතු කිරීම හාස්‍යජනක තත්ත්වයකි. මෙවන් සිදුවිම් හරහා නැවත සිදුවන්නේ සෞඛ්‍ය සේවාවේ පුළුල් කිරීම් සහ සාධනීය ව්‍යුහාත්මක වෙනස්කම් අඩපණ වීමයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ ඒකකය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලු සියලු පාර්ශව එකඟ වී තිබුණද තවමත් එම තීරණ ක්‍රියාත්මක නොවීම ගැටලුකාරී තත්ත්වයකි. 

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව තාක්ෂණික දැනුමක් හෝ සංවේදීභාවයක් නොමැතිව, සෞඛ්‍ය පද්ධතියේ උන්නතිය වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ වලට බාධා කරමින්, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කඩාකප්පල් වන ලෙස කටයුතු කරන කළමනාකරණ සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය වැනි ආයතන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම අවශ්‍ය තීන්දු තීරණ ක්‍රියාත්මක කල යුතු බව අපි විශ්වාස කරමු.

එසේ නොවන්නේ නම්, මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් ක්‍රියාත්මක වන සැලසුම්, බලාපොරොත්තු වන ඉලක්ක කරා යාමට අසමත් වීම තුළ අසාධාරණයට සහ අවදානමට පත්වන අහිංසක ජන ජීවිත සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම මෙම ගැටලුවට සම්බන්ධ සියලු පාර්ශව භාරගත යුතු බව අපි අවධාරණය කරමු.