ජාතික රොහලේ MRI – CT යන්ත්‍ර ලෙඩවීමෙන් රෝගීන් අනතුරක - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

ජාතික රොහලේ MRI – CT යන්ත්‍ර ලෙඩවීමෙන් රෝගීන් අනතුරක - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

කොළඹ ජාතික රෝහලේ මෙම CT සහ MRI යන්ත්‍ර බිඳවැටීම හේතුවෙන් රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ, MRI scan පරීක්ෂණයක් සිදුකරගැනීම  සඳහා රෝගියෙකුට රෝහල් ගතවී දින හතරකට වැඩි කාලයක් ගතකල යුතුව ඇත. මෙමගින් රෝගීන් මෙන්ම කාර්‍යමන්ඩලයද  දැඩි අපහසුතාවයට ලක්වීමක් සිදුවී ඇත. එසේම මේ වන විට MRI scan පරීක්ෂණ සඳහා සමහර සායන වල මාස 8ට වඩා වැඩි පොරොත්තු ලේඛන තිබෙන බව වාර්තා වී ඇත.

අද වන විට ජාතික රෝහලේ ක්‍රියාකාරී තත්ත්වය පවතින්නේ MRI ස්කෑන් යන්ත්‍ර 2ක් පමණක් වන අතර එම යන්ත්‍ර මගින් විකිරණ තාක්ෂණවේදී නිලධාරීන් විසින් පැය 24 පුරා පරීක්ෂණ  ඉටුකළද රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීමේ බරපතල ප්‍රමාදයක් ඇතිවන බව පෙන්වා දිය යුතුවේ.

බිඳවැටුණු MRI යන්ත්‍ර දෙකෙන් එකක් මාස 5 ක් සහ අනෙක් යන්ත්‍රය සති 3 ක කාලයක් සේ මෙලෙස බිඳවැටී ඇත.

බිදවැටුනු CT ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් සති 4 ක් සහ අනෙක් යන්ත්‍රය දැනට දින දෙකක සිට බිඳවැටීම සිදුවී ඇත. මේ වන එක් CT scan යන්ත්‍රයක් පමණක් ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන අතර එහි පරීක්ෂණ සිදු කිරීම ද හදිසි පරීක්ශණ වලට පමනක් සීමාකරමින් සිදු කරමින් පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යනු ලැබේ.  මේ හේතුවෙන්  CT පරීක්ෂණ සඳහා දින ලබාගත් රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීම අවලංගු කිරීමට සිදුවී ඇත.

CT සහ MRI පරීක්ෂණ රෝගීන්ගේ රෝග හඳුනාගැනීම සඳහා අත්‍යවශ්‍ය පරීක්ෂණයක් බවට අද වන විට පත්ව ඇති අතර පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් රෝග ප්‍රතිකාර කිරීම, සැත්කම් සිදුකිරීම  ප්‍රමාද වීමට හේතු වනු ඇත.

 මෙම යන්ත්‍ර බිඳ වැටීම් ප්‍රමාදයකින් තොරව යථාවත් කිරීම සඳහා අදාළ බලධාරීන් ක්‍රියා කළ යුතු අතර එම ක්‍රියාවලිය සඳහා ගතවන කාලය අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම අදාල බලධාරීන්ගේ වගකීම වෙයි. මේ සම්බන්ධව පසුගිය කාලය පුරාම සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළත් මෙම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුවී නොමැති බව තවදුරටත් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී.