නිදහස් වෙළඳ කලාපයේ සල්ලාලයෙක් නීතිය හමුවට

නිදහස් වෙළඳ කලාපයේ සල්ලාලයෙක් නීතිය හමුවට

ඇයට එදා තිබුණේ රාත්‍රී වැඩ මුරයක්. ඒ වගේම එම ආයතනය කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ලෝක ප්‍රසිද්ධ නිෂ්පාදන සපයන ඉහළ පෙළේ ආයතනයක්. එම ආයතනය තුල මිනිස් සිරුරට බරපතල ලෙස අහිතකර රසායනික ද්‍රව්‍ය සමඟ මුසුවෙමින් නිමක් නැති දිවා රාත්‍රී වැඩ මුරවල සේවයෙහි යෙදෙන්නට ඇයට වගේම අනිත් සේවක සේවිකාවන්ටත් සිදුවුණා.

එදා ඇය යොදවා තිබුණේ මැෂින් අටක් සහිත වායු සමීකරණය නොකරන ලද කුඩා කාමරයක තනිව සේවය කරන්නටයි. එසේම එදින රාත්‍රී සේවය සඳහා කාන්තා වැඩපාලිකාවක්ද සේවයෙහි යොදවා සිටියේ නැත. එදා සවස 6.00 ට පටන් ගත්ත සේවා මුරය අවසන් වෙන්නේ පසුදා උදෑසන 6.00 ට වන අතර ඇය ලබාදිය යුතු නිෂ්පාදන ඉලක්කය කෑලි 32000. එම තිස් දෙදාහේ නිෂ්පාදන ඉලක්කය සපුරාලීම සඳහා ඇය සේවය ආරම්භ කරා. විදුලි පංකාවක්වත් නොමැති ස්ථානයක ඇයට දහඩිය පෙරාගෙන මානසික පීඩනයකින් යුතුව වැඩ කරන්නට සිදුවූ අතර රාත්‍රී 12.30 පමණ ඇගේ අංශ භාර ප්‍රධානියා ඇය සිටින ස්ථානයට පැමිණියේ හොර ගල් අහුලන්නාක් මෙනි.

ඔහුගේ යම්කිසි වෙනසක් තිබෙන බව ඇය දුටුවා. එහෙත් ඇය නිෂ්පාදන ඉලක්කය මූලික කරගෙන සේවයෙහි යෙදෙන්නට වූවා.

ඒ අතර ඔහු මෙසේ කිව්වා මේ වෙලාවේ කවුරුත් නැහැනේ ඔය මාස් එක ගලවලා මට කිස් එකක් දෙන්න බණ්ඩල් වලට මුවා වුනාම කවුරුත් දකින්නේ නැහැනේ දැක්කත් මොකද ඕන්නං අපි දෙන්නම අස් කරයි.

ඔහුගේ කතාවට කිසිදු අනුබලයක්, ආධාරයක් ඇයගෙන් නොලැබුණු තැන ඔහු යන්න ගියත් ඒ කරදරය ඉවරයක් නම් වුනේ නැහැ. එදා සිට මේ දක්වාම ඔහුගේ කරදර මානසික වාචික හිරිහැර අහවරයක් නැතුව දිගටම සිදුවන්නට විය.

“ඔයා හරි ලස්සනයි හිනා වෙනකොට කම්මුල් ලස්සනයි. මට හරි ආසයි ඔයත් එක්ක කොහේ හරි යන්න අපි ලන්ච් එක වෙලාවට යමුද කොහේ හරි හෝටලේකට” කියා විටින් විට ඔහු ඇඟෙන් අසා තිබුණා’ ඇගෙන් ඔහුට අනුබල දෙන උත්තරයක් නැති තැන මාස හතරක් ගත වීත් ඔහු ඇය පසුපසම ආවා’ ඔහු කියා තිබුණා යහළුවන්ට ඕක අලුත්ම එකක් අතෑරියොත් අපි පරාදයි නේද කියලා’ ඒ වගේම ඔහු අනිත් අයට කියා තිබුණා’ ඕකිගේ පොටෝ මං ළඟ තියෙනවා කියලා. මේව අහගෙන හිටපු පිරිමි සේවකයෝ කියන්න පටන් ගත්තා. ඌට විතරද දෙන්න හොඳ අපිටත් දෙන්න බැරිද කියා. මේ වගේ පාදඩ වචන අහගෙන ඉන්න බැරි තැන ඇය අපට ඇවිත් කිව්වා ඇයට සිදුවන මේ මානසික වාචික හිංසනයෙන් මුදවා නිදහසේ වැඩ කරන්න පරිසරයක් හදා දෙන්න කියා.

ඇය ආයතනයේ මානව හිමිකම් අංශයට ලිඛිතව කියා තිබුණා මේ කරදරය ගැන. නමුත් එතැනින් ඇයට සාධාරණයක් ඉෂ්ට වී තිබුණේ නැහැ. නිදහස් වෙළද කලාප පරිසරයේ දහසක් දුක් විඳින තරුණියන් වෙතින් තම කායික පිපාසාව නිවා ගන්නට උත්සාහ දරන පිරිමින්ට දැඩි දඬුවම් දිය යුතුයි නේද ?

මේ අතර ඔවුන් සුදනන් වීම සඳහා අදාළ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර ඇත්තේ ඇයද වරදකාරියක ලෙස පෙන්වා දෙමිනි.

අපි ඉහළම තලයට පවා යන්නේ ක්‍190 සම්මුතිය සම්මත කරන්න කියා මෙන්න මේ වගේ දහසක් කාන්තාවන් මුහුණ දෙන ගැටලු වලට පිළියමක් සඳහායි’ තවමත් බලදරයින් මේ සඳහා නිසි උත්සාහයක් ගෙන නැති වීම කණගාටුවට කරුණකි. ඇය වැනිම ඔය ආකාරයෙන් හිංසනයට පීඩනයන්ට මුහුණ දෙන තරුණියන් සඳහා, අපි හැමවිටම ඉදිරිපත් වන්නේ එබැවිනි.

කර්මාන්ත ශාලාවක වැඩ කරන සේවිකාවකට මානසික වාචික හිංසන සිදු කිරීම සම්බන්ධයෙන් අප විසින් සිදුකළ පැමිණිල්ලට අනුව මෙම සැකකරු කටුනායක පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර පසුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. පසුව ඇප මත මුදා හරින ලද අතර මීළඟ නඩු දිනය ලබන ඔක්තෝබර් මස 4 වෙනිදාට තබන ලදී.

මෙය වැඩ කරන කාන්තා ඔබ ලැබූ ජයග්‍රහණයක් වන අතර වාචික හා මානසික හිංසන සඳහා නීතිය මඟින් ලබා දෙනු ලැබූ දඩුවමක් ද වෙයි. ඒ වගේම නීතිය පසිඳලීමේ ඉහළම තැන්වල සිටින බලධරයින්ට අපි කියන්නේ මෙවැනි නඩු හැකි තාක් සමාජගත කරන්න. ඒ වගේම මොවුන්ට උපරිම දඩුවම් දෙන්න. එවිට තවත් සිදුවන මෙවැනි ක්‍රියා නවතීවි.

(රතු විත්ති)