ජනාධිපති අපේක්ෂකයින් මේ ගැන වහා ප්‍රකාශයක් කළ යුතුයි- මර්ධනකාරී නීතිවලට එරෙහි මාධ්‍ය හා සිවිල් සංවිධාන සාමූහිකය.

ජනාධිපති අපේක්ෂකයින් මේ ගැන වහා ප්‍රකාශයක් කළ යුතුයි- මර්ධනකාරී නීතිවලට එරෙහි මාධ්‍ය හා සිවිල් සංවිධාන සාමූහිකය.
  • ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතීන් මර්ධනය කෙරෙන නව නීති අහෝසි කරන්නේද නැද්ද? යන්න සියලු අපේක්ෂකයින් වහා ප්‍රකාශ කළ යුතුයි.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දෙන සියලු අපේක්ෂකයින් තමන් බලයට පත් වුවහොත්, දැනට සම්මතව ඇති සහ කෙටුම්පත්ව ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම්වලට තර්ජනාත්මක ලෙස බලපාන නව නීති සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවට පැහැදිලි කළ යුතු බව මර්ධනකාරී නීතිවලට එරෙහි මාධ්‍ය හා සිවිල් සංවිධාන සාමූහිකය පෙන්වා දෙයි. ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයින්ට එකී මර්ධනකාරී නීති අහෝසි කිරීමට අදාලව ගන්නා පියවර විමසා ලිපියක් යොමු කරන බවද, ඔවුන් එම ලිපියට ලබා දෙන පිළිතුර හෝ ප්‍රතිචාර ප්‍රසිද්ධ කිරීමටද පියවර ගන්නා බව මර්ධනකාරී නීතිවලට එරෙහි මාධ්‍ය හා සිවිල් සංවිධාන සාමූහිකය පවසයි.

ශ්‍රී ලංක‍ා පුවත්පත් ආයතනයේදී, රැස් වූ එම සාමූහිකයට අයත් සියලු සංවිධානවල නියෝජිතයින් ඒකමතිකව තීන්දු ක‍රන ලද්දේ වත්මන් ආණ්ඩුව සම්මත කළ හා නව සංශෝධන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව පිළිබඳ පනත හා තවත් පනත් ගණනාවක් ව්‍යවස්ථාපිත අයිතීන් කෙරෙහි අහිතකර අන්දමින් බලපාන බැවින් ඒවාට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි. යෝජිත ත්‍රස්ත මර්ධන  නීතිය, රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමට අදාල නීති, ජනමාධ්‍ය ක්ෂේත්‍රයට බලපාන නීති හා කම්කරු නීතිද ජන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නියමිත හෙයින් ඒවා සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමටද අවශ්‍ය වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද පසුබට නොවන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

මෙකී මර්ධනකාරී නීති හා අණපනත් ජනමාධ්‍යකරණයටද ඍජුව බලපාන බැවින් සිය ආයතනවල දේශපාලන සංවාද සඳහා සහභාගි වන අපේක්ෂකයින් ඇතුළුව ඔවුන්ගේ නියෝජිතයින්ගෙන් ඒවා පිළිබඳ ප්‍රශ්න කරන මෙන් සියලු ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවද එම සාමූහිකය සඳහන් කළේය.

“අවශ්‍ය නම් අප සාමූහිකයේ විශේෂඥ සම්පත් දායකයින් මෙකී මර්ධනකාරී නීතිවල අහිතකර පල විපාක ගැන අදහස් දැක්වීම සඳහා ඕනෑම අවස්ථාවක මාධ්‍ය ආයතන වෙත යොමු කිරීමට හැකියාව ඇති අතර ආසියානු අන්තර්ජාල සන්ධානය සමග මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව පනත සම්බන්ධයෙන් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද සොයා බලනු ලැබෙන බව” සාකච්ඡාවට එක්ව සිටි නියෝජිතයෙකු පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය ඉතා තීරණාත්මකය. සාමාන්‍යයෙන් සිදුවිය හැකි මැතිවරණ දූෂණවලට අතිරේකව නිදහස් අදහස් ගලනයට බාධා සිදු කිරීමද, සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමද ඉතා බරපතල ලෙස සිදුවීමේ අවදානමක්ද තිබේ. ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ මට්ටමෙන් කටයුතු කිරීමටත් සත්‍ය හා නිවැරදි තොරතුරු මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමට හා ජනගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සිය සාමූහිකය සතු බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමද මර්ධනකාරි නීතිවලට එරෙහිවීම තරම්ම වැදගත් වන හෙයින් ඊට අදාලවද තම සාමූහිකය ගත හැකි සෑම පියවරක්ම ගන්නා අතර එහිලා මැතිවරණ කොමිසමට සියලු ආකාරයෙන් සහය දෙන බවද මර්ධනකාරී නීතිවලට එරෙහි මාධ්‍ය හා සිවිල් සංවිධාන සාමූහිකය ප්‍රතිඥා දුන්නේය.