සියදිවි හානිකර ගැනීම් පිළිබද මාධ්‍ය වාර්තාකරණයේ දී ආචාරධර්ම සහ මාර්ගෝපදේශ වැදගත්කම පිළිබදව මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ

සියදිවි හානිකර ගැනීම් පිළිබද මාධ්‍ය වාර්තාකරණයේ දී ආචාරධර්ම සහ මාර්ගෝපදේශ වැදගත්කම පිළිබදව මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ

සියදිවි හානිකර ගැනීම පිළිබද මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් (11)  දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවනාගාරයේ (SLMA)  දී පැවැත්විණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, මානසික විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව, ඔක්තෝබර් මස 10 දිනට යෙදුන ලෝක මානසික සෞඛ්‍ය දිනට සමගාමීව මෙම මාධ්‍ය හමුව පවත්වන ලදි. මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද එක්ව සිටියහ.

මානසික සෞඛ්‍ය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙන බවත්, විධිමත් හා කාලෝචිත ප්‍රතිපත්ති සකස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවත්, ඒ තුළින් වඩා හොද මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවාවක් / මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී පෙන්වා දෙන ලදි.

සෑම වසරකම ඔක්තෝබර් මස 10 දින ජාත්‍යන්තරව ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනු ලබන බවත් මානසික සෞඛ්‍ය පිළිබදව ජනතාව දැනුවත් කිරීම, ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කිරීමට, ඒ සදහා ප්‍රතිපාදන හා ප්‍රතිපත්ති සැකසීම, මානසික සෞඛ්‍ය පිළිබදව සමාජයේ තිබෙන විවිධ ගැටළු පිළිබදව සමාජය දැනුවත් කිරීම  එවැනි විශේෂ දිනයක් වෙන් කිරීමේ  ප්‍රධාන අරමුණ වන බවත් ඒ මහතා පැවසිය.

මෙරට ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේ දී තෘතියික, ද්විතීයික හා ප්‍රාථමික වශයෙන් අධියර 03 ක ක්‍රියාවලියක් ක්‍රියාත්මකවන බව ද  තෘතියික වෛද්‍ය සේවාව තුල විශේෂඥ වෛද්‍යවරුන් සහ විවිධ මානසික ගැටළු සදහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ඉහළම කණ්ඩායමක් වන බව ද මේ සියළු ස්ථානවල දී මානසික සෞඛ්‍ය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරනු ලබන බව ද පැවසිය. ජනතාවට මානසික සෞඛ්‍ය සේවා ලබාදීම සදහා විශේෂඥ වෛද්‍යවරු, පශ්චාත් උපාධි ආයතනයේ උපාධිය හැදෑරූ වෛද්‍ය නිලධාරීන්,  විශේෂ වශයෙන් මෙම අංශයේ පුහුණුව ලත් හෙද හෙදියන් වන බව ද මෙම කණ්ඩායම්  හරහා රෝගීන්ට නේවාසික ප්‍රතිකාර ලබාදෙන අතරතුරම ඔවුන් සමාජගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන බව ද එය මුළු ලෝකය පුරාම ක්‍රියාත්මකවන ක්‍රමවේදය වන බව ද සෞඛය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති විශේෂඥ වෛද්‍ය සජීවන අමරසිංහ මහතා -

“සියදිවි හානිකර ගැනීම ලොව පුරා සිදුවන දෙයක්. 2021 වසරේ ලොව පුරා හත්ලක්ෂ විසිදාහක් සියදිවි හානිකරගෙන තිබෙනවා. වයස අවුරුදු 15 ත් 29 ත් වයස් සීමාවේ මරණවලින් 03 වන තැන සියදිවි හානි කර ගැනීමට හිමිව තිබෙනවා. මෙරට වසරකට සියදිවි නසා ගැනීම් 3,000 – 3,500 ත් අතර සිදුවෙනවා. එය දළ වශයෙන් දිනකට 08 ක් පමණ වෙනවා. 1990 ගණන්වල ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් අතරින් ඉහළින්ම සිටියා. නමුත් 1190 මැදභාගයේ සියදිවි නසා ගැනීම් පිළිබදව ජනාධිපති කොමිෂමක් ස්ථාපිත කිරීමත් සමග සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාව අඩු වුණා. 2021 වසර වන විට ලෝකයේ 21 වන තැන ශ්‍රී ලංකාවට හිමිවෙනවා. සියදිවි හානිකර ගැනීම අඩු වුවත්, සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම ලංකාවේ අඩු වී නැහැ. ලංකාවේ සියදිවි නසා ගැනීම පසසුගිය වසර 03 තුල  එක මට්ටමක පවතිනවා.  සියදිවි  හානි කර ගැනීමට එක් හේතුවක් කිව නොහැකියි.

ප්‍රධාන වශයෙන් මානසික රෝග තත්ත්වය, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම මීට ප්‍රධාන හේතු දෙකක් වෙනවා. සියදිවි හානි කර ගැනීමට උත්සාහ ගන්නා සියල්ලෝම මානසික රෝගීන් නොවෙයි. ආවේගශීලීබව, ප්‍රශ්ණවලට මුහුණදීමේ නොහැකියාව නිසා විශේෂයෙන් තරුණ ප්‍රජාව සියදිවි හානි කර ගැනීමට හේතු වෙනවා. මාධ්‍ය ඔස්සේ සියදිවි හානි කර ගැනීම් වාර්තා කරණය සිදු කරන ආකාරය පිළිබදව ගැටළුව පවතිනවා. වාර්තා කරණය සිදු කරන ආකාරය අනුව සියදිවි හානි කර ගැනීම වැඩිවෙන බවට ලෝකයේ සාක්ෂී තිබෙනවා.”

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා -

“මානසික සෞඛ්‍ය දිනය සහ පසුගිය කාලය තුළ සිදු වූ සිද්ධීන් පදනම් කරගෙන මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අදහස් කළා. පසුගිය කාලය තුල තරුණ දරුවන්ගේ මානසික ආතතීන්, ඒ හේතුවෙන් ඇතිවන සංකූලතාවයන්, සියදිවි නසා ගැනීම දක්වා එම සිද්ධීන් වර්ධනයවීම පිළිබද විවිධ සිද්ධීන් වාර්තා වුණා. මෙරට වැඩිහිටි පිරිසට සහ සමකාලීන දරුවන්ටත් මෙම සිදුවීම් නිසා විශාල කම්පනයක් ඇති කළා. මෙම සිදුවීම් ජනතාව දැනගනු ලබන්නේ මාධ්‍ය වාර්තාකරණයෙන්. මාධ්‍යට විශේෂ වගකීමක් තිබෙනවා මෙම තොරතුරු නිවැරදි අකාරයට ජනතාවට ලබාදීම පිළිබදව. මේ සිද්දීන් ඇතිවීමේ හේතුකාරක මොනවාද, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගන්නා පියවර කුමක්ද,  එ් සම්බන්ධයෙන් මාධ්‍යයට පැවරෙන වගකීම යන කරුණු අනුවයි මෙම මාධ්‍ය හමුව සුදානම් කිරීමට කටයුතු යෙදුනේ. මෙම සිදුවිම් ජනතාව දැනගන්නා ආකාරයන් නිසා විවිධ ව්‍යාකූලතාවයන් තතත්ත්වයන් විවිධ අවස්ථාවල අපි දකිනවා. ඉදිරියටත් මේ පිළිබදව දැනුවත් කිරීමේ වැඩමුළු සහ සාකච්ඡා මාධ්‍ය සමග පැවැත්වීමට අදහස් කරනවා.  මානසික සෞඛ්‍ය ගැටළු සම්බන්ධ කරුණු වාර්තා කිරීමේ දී සහ දැනුවත් කිරීමේ දී මාධ්‍යයට විශාල වගකීමක් පැවරෙනවා.”

කොළඹ ජාතික රෝහලේ මනෝ විශේෂඥ වෛද්‍ය, ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සියදිවි හානිකර ගැනීම වැළැක්වීම පිළිබද කමිටුවේ ලේඛකාධිකාරී චතුරි සුරවීර මහත්මිය -

“අලෙවිකරණයේ දී ප්‍රචාරණය භාවිතා කරනවා. ඒ අනුව එම භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව පෙළ‌ඹෙනවා. සියදිවි හානි කර ගැනීම වැනි දේවල් ලොකුවට හිතට කා වදින දෙයක් වුණත් සමාජයේ සුලබ දේවල් නොවෙයි. ඒ පිළිබදව වැඩි වැඩියෙන් කතා කරන්න කතා කරන්න ජනගත වන ප්‍රමාණය වැඩියි. ජනතාව අතරට ගෙන යා යුත්තේ සියදිවි නසා ගැනීම යන සංකල්පය නොව සියදිවි හානිකර ගැනීමට පෙර සිදු කළ හැකි දේවල් පිළිබද සංකල්පයි. ප්‍රශ්ණයක් සිදු වූ විට එම ප්‍රශ්ණය විසදා ගත හැකි මාර්ග පිළිබදව මාධ්‍ය ජනතාව දැනුවත් කළ යුතුයි. ධනාත්මක සංකල්ප ඇති කිරීම පිළිබදව මාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා. මනෝ වෛද්‍යවරු මෙන්ම මානසික රෝග නමින් රෝගයක් තිබෙන බවවත් නොදන්න පිරිසකුත් සිටිනවා. උපදේශන සේවාවන් පිළිබද මෙන්ම ප්‍රශ්ණවලට ගැටළුවලට මුහුණ දෙන ආකාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීමට මුල්තැනක් දෙමින් මාධ්‍යයට මෙම විෂයේ දී ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කළ හැකියි.”

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ළමා හා නව යොවුන් මනෝ විශේෂඥ වෛද්‍ය අනුරාධා හේරත් මහත්මිය “නව යොවුන්වියේ දී දරුවන්ගේ ශාරීරික, මනෝවර්ධනීය, බුද්ධිමය, සමාජගතවීමේ කුසලතා වර්ධන කඩඉම් කිහිපයක් සීඝ්‍රයෙන් සිදු වෙනවා. මෙය ආන්දෝලාත්මක අවධියක්. මෙම දරුවන්ගේ මානසික වෙනස්විම් හදුනා ගැනීම් ඉතා වැදගත් වෙනවා. එවැනි වෙනස්වීමක් ඇති දරුවන් වෙතොත් පිළිගත් වෛද්‍යවරයෙක් වෙතින් හෝ 1926, 1333 වැනි උපකාරක සේවා සම්බන්ධ කර ගෙන හෝ උපදෙස් ලබාගත හැකියි. ඒ අනුව දරුවාට මඟපෙන්වීම ලබාදිය හැකියි. එැවැනි තොරතුරු පිළිබදව මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත්භාවය ලබාදීම තුළින් සියදිවි හානිකර ගැනීමට යොමුවීමේ තත්ත්වයන් පාලනයට පියවර ගත හැකියි.”