සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම හෝ ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් විමසීමක් කර තිබේ.
එම ලිපිය පහතින් දැක්වේ.
2024 නොවැම්බර් මස 22 වන දින
අතිගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ.
අතිගරු ජනාධිපතිතුමනි,
සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම හෝ ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධවයි.
යථෝක්ත කරුණ සම්බන්ධයෙන් අප සංගමය විසින් ඔබ වෙත එවන ලද ඔක්තෝබර් මස 03 වන දින දරණ ලිපියට අමතරව එම කරුණ සම්බන්ධයෙන් ඔබ වෙත එම ලිපිය ඉදිිරිපත් කරන්නෙමු.
ඔබගේ 2403/53 අංක දරණ 2024 සැප්තැම්බර් මස 27 වන දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අනුව, වෙනත් කාරණාවලට අමතරව, එහි දෙවන තීරුවෙහි අංක 54 සිට 57 දක්වා නම් කෙරෙන ආයතන සම්බන්ධව ගත යුතු පියවර ලෙස පළමු තීරුවෙහි අංක 36 යටතේ සඳහන් වන්නේ, “ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමේ කටයුතු අවසන් කළ යුතු” බව ය.
ඒ අනුව එහි සඳහන් රාජ්‍ය හිමිකාරිත්වයට අයත් ව්‍යාපාර “ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමේ කටයුතු” යනුවෙන් අර්ථවත් කෙරෙන්නේ ඒවා “අලෙවි කිරීම නැතිනම්, පෞද්ගලීකරණය කිරීම” යැයි ඔබ විපක්ෂයේ සිටියදී ඔබ ගේ ස්ථාවරය වූ අතර එයට ඔබ විරුද්ධව ද කරුණු ඉදිරිපත් කර ඇත.
දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය හිමිකාරිත්වයට අයත් ව්‍යාපාර, පාඩු නොලබන කාර්යක්ෂම ව්‍යාපාර ලෙස ප්‍රතිසංවිධානය කිරීමට හෝ එසේ කළ නොහැකි යැයි අදාල පාර්ශවයන්ගේ එකඟත්වය පළ කළ ව්‍යාපාරික තක්සේරුවක් මත පිළිගැනෙන්නේ නම් අලෙවි කිරීමට, අපි විරුද්ධ නොවෙමු. එහෙත් අප, ඉහතින් සඳහන් ඔක්තෝබර් මස 03 වන දින ඔබ ඇමතූ ලිපියෙන් විරුද්ධ වූයේ, එළෙස පාඩු නොලබන, එකල සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පැවති සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට අදාල ගැසට් නිවේදනයෙහි තිබූ තීන්දුවට ය. එයට හේතු වශයෙන් ත්‍රිපෝෂ සමාගම පාඩු නොලබන රාජ්‍ය ව්‍යාපාරයක් බවට සහ එය විශාල සමාජ වගකීමක් භාර ගෙන ඇති රාජ්‍ය ව්‍යාපාරයක් බවටත් අප සංගමය කරුණු දැක්වූයෙමු.
ඒ අතර වෙනත් සංවිධාන හා පුද්ගලයින්ද ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට විරුද්ධව ප්‍රසිද්ධ ප්‍රකාශ කළහ. එවැනි තත්ත්වයක් හමුවේ, ඉකුත් නොවැම්බර් මස 09 වන දාතමින් ඔබගේ වගකීම යටතේ පැවැති “මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැළසුම් සහ සංචාරක අමාත්‍යාංශ” නිල ලිපි ශීර්ෂයක් සහිතව “සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් නව රජයේ ස්ථාවරය” මැයෙන් කිසිවෙකුගේ අත්සනක් නොමැතිව නිවේදනයක් නිකුත් කෙරින. එහි මෙතෙක් ඉතිහාසයෙහි නොවුනු අයුරු දේශපාලන පක්ෂයක මැතිවරණ ප්‍රකාශය උපුටා දක්වමින් ඒ අනුව රජයේ ප්‍රතිපත්තිය තීන්දු වන බව කියා තිබිණ. එබැවින් ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට කිසිදු සැළසුමක් නැතැයි ද එහි සඳහන් කර තිබිණ.
එකී නිවේදනය සම්බන්ධයෙන් කරුණු දෙකක් අපි මතු කරන්නෙමු.
01. ජනාධිපති විසින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රයකින් තහවුරු කෙරෙන ප්‍රතිපත්ති සහ නීතිමය ප්‍රතිපාදන මාධ්‍ය නිවේදනයකින් අහෝසි කළ නොහැක. එබැවින් ඉහතින් සඳහන් කෙරුණු ගැසට් නිවේදනය ප්‍රකාර, ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම නෛතිකව තවමත් වලංගු වන්නකි.
02. ඉහතින් සඳහන් මාධ්‍ය නිවේදනය අමාත්‍යාංශයේ නිල නිවේදනයක් නොවන අතර, අමාත්‍යාංශ නිල ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් එළෙස නිර්නාමික නිවේදනයක් නිකුත් කිරීම කිසිවෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ නීති විරෝධී, වංචනික දේශපාලනික ක්‍රියාවක් ලෙස පෙනී යයි.
එහෙයින් අප ඔබගෙන් බලාපොරොත්තු වන්නේ අප සංගමයේ 2024 ඔක්තෝබර් මස 03 වන දිනැති පළමු ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ලෙස නොව, ඔබ සහ ජා.ජ.බ නායකයින් මැතිවරණ වේදිකා මත පොරොන්දු වූ සහ ඊයේ (21 වන දින) නව පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් යැයි ඔබ ජනාධිපති වශයෙන් අවධාරණය කළ පාරදෘශ්‍යභාවයකින් යුතුව සහ සමාජයට වගවීමක් ඇතිව කටයුතු කරනු ඇතැයි කියා ය.
ඒ අනුව,
1. ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට පියවර නොගන්නා බවට නැවත ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කරන මෙන් ද
2. ඉහතින් සඳහන් කෙරුණු අමාත්‍යාංශ ලිපි ශීර්ෂය වංචනික ලෙස යොදා ගෙන එකී නිවේදනය නිකුත් කිරීම සම්බන්ධව වහා පරීක්ෂණයක් කර අදාල පුද්ගලයාට හෝ පුදගලයින්ට විරුද්ධව නොපමාව නීතිමය පියවර ගන්නා මෙන් ද
අපි මෙයින් ඔබගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට විශ්වාසී
ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය