රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පැවතීම දැක්ම රජයේ අපේක්ෂාවයි - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

nalinda-government-press

 රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරණු ලැබුවේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම පිළිබඳව රජයේ නව මුද්‍රණාලාධිපති කේ.ජී.ප්‍රදීප් පුෂ්පකුමාර මහතා ඇතුළු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියළුම මාණ්ඩලික නිලධාරීන් සහ අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

අමාත්‍යවරයා සාකච්ඡාවට සමඟාමීව රජයේ මුද්‍රණාලයට අයත් සියළුම අංශ වෙත පෞද්ගලිකවම  ගොස් කරුණූ සොයා බැලු අතර, එහි දී නවක මෙන්ම දශක තුනකටත් වඩා වැඩි සේවා කාලයක් රජයේ මුද්‍රණාලයේම සේවය කර ඇති පලපුරුදු සේවකයන් මුණගැසී මුද්‍රණාලයේ ප්‍රගතිය වැඩිදියුණු කළයුතු අංශ පිළිබඳවත්, එමෙන්ම දුර්වලතා සහ අඩුපාඩු පිළිබඳවත්, කරුණූ සොයා බැලීම සුවිශේෂී සිද්ධියක් විය. 

පැය 24 පුරා අඛණ්ඩව සේවා සපයන රජයේ මුද්‍රණාලයේ කටයුතු කිසිදු බිඳවැටීමකින් තොරව ක්‍රියාත්මක කිරීම වැදගත් බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා, රටේ පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳව ද සැලකිල්ලට ගනිමින් මනා කලමණාකරණයකින් හා මනා සැලැස්මකට අනුව සියළු වෘත්තිය සමිති වල ද අදහස් එම සැලැස්මට අනුගත කර ගනිමින් ඉදිරි කටයුතු සිදු විය යුතු බව මෙහිදි පැවසීය.

තම ආයතනයේ ප්‍රතිරූපය ඉහළ නංවාගැනීමට පමණක් නොව සමස්තයක් ලෙස සියළු ආයතනවල ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ ලබාදෙන සේවාවන් විධිමත් කිරිමට කටයුතු කළ යුතු බවත් මෙහි දී තවදුරටත් පැවසු අමාත්‍යවරයා  සියළු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් සහිතව කටයුතු කිරීම තුලින් පෞද්ගලික ආයතන මෙන් ලාභ උත්පාදනය කල හැකි ක්ෂේත්‍රවලට අදාළව විවෘත වෙළෙදපොල සමග තරඟ කිරිමට උත්සාහ කල යුතු බව ද පැවසීය. ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව මෙරට තරුණ ප්‍රජාවට මුද්‍රණ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම බෙදා දීමේ පෙර ගමන්කරුවක් විය යුතු බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා තරුණ ප්‍රජාව මුද්‍රණ ක්ෂේත්‍රයට ආකර්ශණය කර ගත හැකි වැඩපිළිවෙලක් සකසන ලෙස ද  වැඩිදුරටත් පැවසීය.

කාර්ය මණ්ඩල සංඛ්‍යා සමාලෝචනය, තාක්ෂණික කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, රජයේ මුද්‍රණ දෙපාර්මේන්තුවට සංශෝධිත දිරි දීමනා ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කිරීම, දෙපාර්තමේන්තුවට නවීන තාක්ෂණය අත්පත් කරගනිමින් සංවර්ධනය කිරීම සඳහා සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සංයුක්ත සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, සියලුම ප්‍රකාශන කටයුතු යුනිකෝඩ් මඟින් සිදු කිරීම, සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැනුණි.

“කෘතහස්ත කාර්ය මණ්ඩලය නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කලට වේලාවට ගුණාත්මක නිමාවකින් යුතුව සේවාලාභීන් තෘප්තිමත් වන අයුරින් මුද්‍රණ හා ප්‍රකාශන සේවා සැපයීම” මෙහෙවර කර ගනිමින් ක්‍රියාත්මක රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනයන්හි රහස්‍ය, හදිසි, අත්‍යවශ්‍ය මුද්‍රණ ඇතුළු මුද්‍රණ හා ප්‍රකාශන සේවා සැපයීම, අන්තර්ජාලය හරහා සෘජුවම ගැසට් පත්‍ර මඟින් තොරතුරු සන්නිවේදනය කිරීම, මුද්‍රණ කටයුතු සම්බන්ධ තාක්ෂණික සේවාවන් සැපයීම යන කාර්යයන් සිදු කරනු ලබයි.