වෛද්‍යවරුන් රට තුල රැඳී සිටීම දිරිමත් කිරීම හරහා නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම ඉලක්ක කරගනිමින්, අයවැය 2025 වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.
එම යෝජනාවළිය පහතින් දැක්වේ.
ස්ථාවර රාජ්‍යයක් සහ ශක්තිමත් ශ්‍රම බලකායක් බිහි කිරීමෙහිලා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම ආයෝජනයන් වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනයයි.
ඉතිහාසයේ සියලු දුෂ්කර අවස්ථාවන්හිදී පවා මෙරට සෞඛ්‍ය සේවාව ස්ථාවරව පවත්වා ගනිමින්, සංවර්ධිත රාජ්‍යයන් සමඟ කරට කර සිටිමින් ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමෙහිලා තීරණාත්මකම සාධකය වනුයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.
රට තුළ පැවති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ, ප්‍රමාණවත් වැටුප් නොලැබීමත්, අහිතකර වෘත්තීය පරිසරයත් හේතුවෙන් 2000 කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරටට අහිමි වුනු අතර, 5000 කට අධික පිරිසක්ද රට හැර යාමේ සූදානමින් පසු වෙති. මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුණහොත්, මෙරට රෝහල් පද්ධතිය බිඳ වැටීම වැළැක්විය නොහැකි වනු ඇත.
එබැවින් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටු කරමින්, යහපත් වෘත්තීය පරිසරයක් ගොඩනගමින් ඔවුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කරන සහ නිදහස් සෞඛ්‍ය සේවාව තවත් ශක්තිමත් කරන කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය දැඩිව පවතී.
එමෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාවේ මූලිකාංග සුරක්ෂිත කරමින්, මෙරට සෞඛ්‍ය පද්ධතිය හරහා ආදායම් උත්පාදනය කිරීම සඳහා නිර්මාණාත්මක සහ තිරසාර ක්‍රමෝපායන් ද හඳුනාගත යුතුය.
එවන් වැඩපිළිවෙලක මූලික අඩිතාලම දැමීමට හැකිවන පරිදි, ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන 2025 අයවැය ලේඛනයට අන්තර්ගත කිරීමට ඉල්ලා සිටිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගරු ජනාධිපතිතුමන්ට සහ රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී.
1. වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීමට සහ රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමට යෝජනා.
2. සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම
o බදු නිදහස් මාසික ආදායම් සීමාව රු. 100,000.00 සිට 200,000.00 දක්වා ඉහල නැංවීම.
o බදු ආදායම් කාණ්ඩ වල ප්‍රතිශතය 6% - 36% සිට 4% - 24% ලෙස සංශෝධනය කිරීම.
o බදු පැනවීමේ වාර්ෂික ආදායම් කාණ්ඩවල අගය රු. 500,000.00 සිට රු. 600,000.00 දක්වා සංශෝධනය කිරීම
3. දැනුම ආර්ථික සංකල්පය මත පදනම්ව ආදායම් උත්පාදනය කිරීමේ යෝජනා.
ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම ඕනෑම රජයකට සහ පාලකයෙකුට අත්හල නොහැකි වගකීමකි.
ඉහත යෝජනාවලිය හරහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අරමුණ වනුයේ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කරමින්, ඔවුන් ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය තහවුරු කිරීමයි.
මෙම යෝජනාවලියෙහි අන්තර්ගත කරුණු, ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් කාලරාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම වැදගත්ය. එහිදී කෙටිකාලීනව ක්‍රියාවට නැංවිය යුතු යෝජනාවන් ද පවතින අතර, ඇතැම් යෝජනා කාලරාමුවක් සහිතව ක්‍රියාත්මක කළ හැකිය.
මෙම යෝජනාවලියේ අන්තර්ගතයත්, එය ක්‍රියාත්මක කිරීමෙහිලා අනුගමනය කළයුතු උපායමාර්ගත් සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා, සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු වගකිවයුත්තන් සමඟ කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, නිදහස් සෞඛ්‍ය සේවාවේ පුනරුදය ඇති කිරීම තුල සුවපත් සහ නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ස්වකීය උපරිම සහයෝගය අඛණ්ඩව ලබාදීමට සූදානමින් සිටින බව ද සපථ කරමු.
