පුද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රුපියල් 27,000 ක් ලෙස සහ 2026 වසරේ සිට රුපියල් 30,000 ලෙස ඉහළ දමන බව මෙවර අය වැය කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලදී. මේ සඳහා අවම වේතන පනත සංශෝධනය කරද්දී මේ පනතේ ඉවත් කර ඇති ගෘහ සේවකයන්වද ඇතුලත් කළ හැකිය. මක්නිසාදයත් ඔවුනුත් අනෙකුත් ශ්‍රමිකයන් මෙන් අවම වැටුපකටවත් හිමිකම් විය යුතු ශ්‍රමික කොට්ඨාසයක් බැවිනි. මෙම පනත සංශෝධනය කරන බව කම්කරු පසුගිය කම්කරු ඇමතිවරු දෙදෙනෙක් පොරොන්දු වුණද මෙතෙක් එය එසේ සිදු නොකිරීම කණගාටුවක කරුණකි.
ශ්‍රී ලංකාවේ කම්කරු නීති මගින් ගෘහ සේවයකයන්ව ඉවත් කිරීම තුළ ඔවුන් දැඩි පීඩාවන්ට සහ අසීරුතාවන්ට ලක්වේ. ඒ අතුරින් දැඩි ලෙස ශ්‍රමය සූරා කෑම, හිංසාවන්ට හා ප්‍රචණ්ඩත්වයන්ට ලක් කිරීම ප්‍රධාන සුලබව දැකිය හැකිය. සුවිසල් මැදුරු වල සුඛෝපභෝගී ජීවිත ගත කළත් වැඩවසම් මානසිකත්වයෙන් යුතු නිවෙස් හිමියන් විසින් රිසිසේ තමන්ගේ සියලු වැඩ කටයුතු මේ ගෘහ සේවය කරන ලවා සිදුකර අවසානයේදී සොච්චම් මුදලක් අතටදී පිටත් කර හරී. සමහර නිවෙස් වල නතර වී වැඩ කරන සේවකයන්ව වැටුප් නොදී එම නිවෙස් වලින් එළියට දැමූ අවස්ථා බොහොමයක් පවතී. ලෝක කම්කරු සංවිධානය (ILO) 2020 වසරේදී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාව තුළ ගෘහ සේවකයින් 80000 ක් ඉක්මවා සිටියි. නමුත් මේ ශ්‍රමිකයන් සඳහා ලංකාව තුළ කිසිදු කම්කරු නීති හෝ සමාජ ආරක්ෂණ ආවරණයක් සකස් කිරීමට කිසිම රජයක් සමත් වී නැත. එම නිසා මෙම ගෘහ සේවකයින් ඉතාම නරක රැකියා කොන්දේසිය යටතේ වහලුන් මෙන් රැකියා කරන බව දක්නට ලැබේ.
එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජාතික අවම වේතන පනතින් ගෘහ සේවකයන් ඉවත් කර ඇති ආකාරය ඉතා ඛේදජනකය. ශ්‍රී ලංකාවේ 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනතට අනුව ගෘහ සේවකයන්ට අවම වැටුපක්වත් ගෙවිය යුතු නැත. මක්නිසාද යත් එම පනතේ "ගෘහ සේවකයෙකු ඊට ඇතුළත් නොවේ" යනුවෙන් නිශ්චිත කොටම සඳහන් කර තිබීම නිසා මේ ශ්‍රම සූරා කෑමට රිසිසේ ඉඩහසක් ඉඩ සලසා ඇති අතර එයින් ගම්‍ය වන්නේ ගෘහ සේවකයන්ට අවම වශයෙන් අවම පඩියක්වත් නොගෙවා වැඩ ගත හැකි බවය.
2020 වසරේදී ප්‍රොටෙක්ට් සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක් හිටපු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමග අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදී ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති සකස් කරන බවට පොරොන්දු විය. ඉන් නොනැවතී අමාතයවරයා ඒ බව පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කර සිටියේ ගෘහ සේවකයන්ට අවම වැටුප, EPF/ETF සහ පාරිතෝෂික ලබා දීම සඳහා අදාළ කම්කරු නීති සංශෝධනය කරන බවයි. ඉන්පසුවත් කම්කරු ඇමතිවරුන් දෙදෙනෙක් කම්කරු අමාත්‍යාංශයට පත් වුණද ඒ පිළිබඳව දිගින් දිගටම ඉල්ලීම් සිදු කළද එවුන් කිසිවකු ගෘහ සේවකයන් සඳහා උක්ත කම්කරු නීති සකස් කිරීමට අසමත්විය. එම නිසා අපි වර්තමාන ආණ්ඩුවෙන් ගෘහ සේවකයන් සඳහා යහපත් කම්කරු නීති ආවරණයක් සකස් කරමින් ඔවුනුත් සිදු කරන්නේ රැකියාවක් කිය යන්න පිළිගැනීමට ලක් කරනු ඇතැයි ගෘහ සේවකයන් අපේක්ෂා දල්වාගෙන බලා සිටී.
| කල්ප මදුරංග
ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය