ගාල්ල කරපිටිය ජාතික රෝහලේ පිලිකා රෝගීන්ගේත් විකිරණ ප්‍රතිකාර ඇණහිටී

ගාල්ල කරපිටිය ජාතික රෝහලේ පිලිකා රෝගීන්ගේත් විකිරණ ප්‍රතිකාර ඇණහිටී

ගාල්ල කරපිටිය ජාතික රෝහලේ ස්ථාපනය කර ඇති පිලිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන  ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයේ නව රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීම සති 2 ක කාලයක සිට සම්පූර්ණයෙන්ම ඇණහිටී ඇත.

මෙයට හේතු වී ඇත්තේ විකිරණ ප්‍රතිකාර සැලසුම් කරන පරිගණක පද්ධතියේ ඇතිවී ඇති දෝෂයකි. මේ වන විට මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කරර ඇතත් යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීම සිදුවී නැත.

මෙම ගැටලුව විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයේ දෝෂයක් නොවන නිසා දැනට ප්‍රතිකාර කටයුතු සිදුවෙමින්   පවතින රෝගීන් ගේ ප්‍රතිකාර කටයුතු ඉදිරි සතියක කාලය තුළදී අවසන් කිරීමට හැකි වන අතර ඉන් පසුව අදාල ඒකකයේ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටිනු ඇත.

සාමාන්‍යයෙන් පිළිකා රෝගියෙකුගේ විකිරණ ප්‍රතිකාර සැලසුම් කොට එය පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් අනුමත කිරීමෙන් පසුව ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය වෙත යොමු කරන අතර ඉන් පසුව රෝගියාගේ ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීම සිදුකරනු ලබයි. පසුගිය කාලය පුරා විශේෂඥ වෛද්‍යවරුන් විසින් එදිනෙදා අනුමත කළ පිළිකා රෝගයන්ගේ විකිරණ ප්‍රතිකාර සැලසුම් එදිනම අදාල යන්ත්‍රය වෙත යොමු කළේ නම් මෙම පරිගණක පද්ධතියේ දෝෂය නිවැරදි වනතුරු රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව සිදුකර ගැනීමේ හැකියාව තිබිණි. නමුත් එම ප්‍රතිකාර සැලසුම් එදිනෙදා අදාල පද්ධතිය වෙත යොමු කරන නිලධාරීන් තම වගකීම පැහැරහැරීම හේතුවෙන්  මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇත.

මේ වන විට ගාල්ල   ජාතික රෝහලේ පිළිකා රෝගීන් විකිරණ ප්‍රතිකාර කටයුතු ලබා ගැනීම සඳහා මාස 4 කට ආසන්න පොරොත්තු ලේඛන ගතව සිටී.

දිවයින පුරා රෝහල් තුළ ලීනියර් ඇක්සලේටර් පිළිකා ප්‍රතිකාරක යන්ත්‍ර 10ක් ස්ථාපනය කොට ඇති අතර අපේක්ෂා රෝහලේ ස්ථාපනය කර ඇති යන්ත්‍ර 5න් බිදවැටුණු යන්ත්‍ර 2ක් තවමත් යථා තත්වයට පත්කොට නැති අතර මේ අනුව සම්පූර්ණ වශයෙන් යන්ත්‍ර 3ක රෝගී ප්‍රතිකාර  කටයුතු අඩපණවීී ඇත.

| චානක ධර්මවික්‍රම

සභාපති

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය