සුබ ගමන් - ගමන් සගයාණෙනි

thaha-musammil-fmm

සිය දිවිසැරිය නිමා කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ විධායක සභික හා භාණ්ඩාගාරික තාහා මුසම්මිල් සහෝදරයාට සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් අපගේ ආචාරය පුද කර සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ නිදහස ඇතුළත් උසස් මානවීය ගුණාංග හා අයිතීන් මහපොළවේ සාරවත්ව රෝපණය කිරීම සඳහා අප සමග අත්වැල් බැඳගත් තාහා මුසම්මිල් සහෝදරයා සෑම අවස්ථාවකම නිර්භයව සහ නොබැඳිව සත්‍යය හා සාධාරණත්වය උදෙසා පෙනී සිටියේය.

වඩා සුපිළිපන්න හා විනිවිදින සුළු ප්‍රතිපත්තීන් සමාජ සංවිධානවල තිරසාර පැවැත්මට දායක වන බව විශ්වාස කළ ඔහු දුසැරියෙන් තොර හා විනයවත් නායකත්වයකට ආදර්ශය සැපයීය.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි තෙබසම මනාව සන්නිවේදනය කළ මුසම්මිල් සියලු වාර්ගික මාධ්‍ය සහෝදරත්වය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමග පෙළ ගැස්වීමෙහිලා කැපවුණු අතරමැදියෙක් ලෙස ගෞරවය දිනාගත්තෙකි.

ශ්‍රී ලාංකික දෙමළ හා මුස්ලිම් මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරීන් ආමන්ත්‍රණය කිරීමේදී අපට යෝධ අත්වැලක් වූ ඔහු බහුත්වවාදය යනු කුමක්දැයි සැබෑ ලෙසම විදහා දැක්වූ ප්‍රවීනයාය.

තාහා මුසම්මිල් වැනි මානව හිතවාදීන්ගේ මෙහෙවර තවදුරටත් අවැසි සමයක ඔහුගේ නික්ම යාම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සළකන්නේ දැරිය නොහැකි අහිමිවීමක් ලෙසය.

මාධ්‍යකරුවෙකු, පරිවර්තකයෙකු හා පුහුණුකරුවෙකු ලෙස මුස්ලිම් ජනමාධ්‍ය සමාජයද පොදු වේදිකාවේ රඳවා තබන්නට ඔබ කළ මෙහෙය අමරණීයය.

තාහා මුසම්මිල් ගමන් සගය, ඔබට අපගේ උත්තමාචාරය.