මෙරට නීරෝගී, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම ප්‍රමුඛ අරමුණ කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන සුව සත්කාර කාර්යයේ දී පරිපූරක වෛද්‍ය සේවාවේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් අතිවිශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ නියෝජිතයින් සමග පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාමය අවස්ථාවේදී ය. පරිපූරක වෛද්‍ය සේවාවේ පවතින වෘත්තීය ගැටලු වලට කඩිනම් විසදුම් ලබා ගැනීමේ අරමුණින් මෙම හමුව පැවැත්විණි.
මෙතෙක් පැවති රජයන් හා විෂයභාර අමාත්‍යවරුන් වෙත මෙම වෘත්තීය ගැටලු ඉදිරිපත් කළ නමුත් එම ගැටලු වලට ස්ථිර විසදුම් නොලැබුන හෙයින් වත්මන් අමාත්‍යවරයා වෙත ද එම ගැටලු ඉදිරිපත් කිරීමට සිදුව තිබෙන බව ද එම නියෝජිතයින් අමාත්‍යවරයා හමුවේ පවසා සිටියේ ය.
සම සෞඛ්‍ය උපාධිධාරීන් බදවා ගැනීම, පරිපූරක වෛද්‍ය සේවාවේ සිටින සම සෞඛ්‍ය උපාධිධාරීන් සදහා සුදුසු වැටුප් තලයක් ලබා ගැනීම, සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ “ අනුස්තාපන සමායෝජන” යන පුහුණුවේ නාමය සීමාවාසික පුහුණුව ලෙස වෙනස් කිරීම, පරිපූරක වෛද්‍ය සේවා වලට අදාළ සේවා ව්‍යවස්ථා නිර්මාණය කිරීම සදහා අවශ්‍ය වන කටයුතු ආරම්භ කිරීම, පලමු ශ්‍රේණියේ සිට අධි ශ්‍රේණියට උසස්වීම් ලබා ගැනීම සදහා සම්පූර්ණ කළයුතු යෝජිත කළමණාකරණ පුහුණුව පිළිබදව, පරිපූරක වෛද්‍ය සේවාවේ විශේෂ ශ්‍රේණි ලබා දීම කඩිනම් කිරීම, ඇමතුම් රාජකාරී දීමනාව යාවත් කාලීන කිරීම යන ගැටලු ප්‍රමුඛ කරගනිමින් තවත් ගැටලු රාශියක් මෙහි දී සාකච්ඡාවට භාජනය විය.
සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීන්ට බලපෑමක් ඇතිනොවන අයුරින් මෙම ඉල්ලීම් සියල්ල ඉටුකිරීමට කටයුතු කරන බව පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමස්ත සෞඛ්‍ය සේවාවේ සිය වෘත්තීය රාජකාරි ඉටු කරනු ලබන වෘත්තිකයින්ට බලපාන වෘත්තිය ගැටලු වලට කඩිනම් විසදුම් ලබාදීමෙන් ඔවුන්ගෙන් කාර්යක්ෂම, ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද මෙහි දි අවධාරණය කර සිටියේ ය.
සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, රජයේ වෘත්තීය චිකිත්සක සංගමය, රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය යන වෘත්තීය සංගම් සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නියෝජනය කරනු ලබයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් චාමික ගමගේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.ශ්‍රීධරන්, අධ්‍යක්ෂවරුන් වන සමන්ත රණසිංහ, ජානකී විදානපතිණ, සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නියෝජනය කරමින් එහි සම කැඳවුම්කරුවන් වන චලිත් අමරදිවාකර, වසන්ත ගුණවර්ධන, ඉරංග අලුත්ගේ, රුවන් නදීශාන් යන මහත්ම මහත්මීන් ඇතුළුව එම ඒකාබද්ධ බලමණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.