පරිපූරක වෛද්‍ය සේවයට බඳවාගන්න සම්මුඛ පරීක්ෂණ පවත්වයි

පරිපූරක වෛද්‍ය සේවයට බඳවාගන්න සම්මුඛ පරීක්ෂණ පවත්වයි

වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) සහ භෞත චිකිත්සක යන තනතුරු වල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා පසුගිය දා පැවති තරඟ විභාගයෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් සඳහා සම්මුඛ පරීක්ෂණ (17)  දින දවස පුරා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ තනතුර සඳහා (MLT) 294 දෙනෙකු ද භෞත චිකිත්සක තනතුර සඳහා 200 දෙනෙකු ද බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට මේ වන විට අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව පැවති තරඟ විභාගයෙන් සුදුසුකම් ලබා අද (17)  පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන අයදුම්කරුවන් ඉහත තනතුරු වලට අදාළ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා බඳවා ගැනීමට නියමිතය.

වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර (MLT)  සඳහා අවසන් වරට උපාධිධාරීන් බඳවාගෙන වසර 07 කට ආසන්න කාලයක් ගතවී ඇති අතර භෞත චිකිත්සක තනතුර සඳහා අවසන් වරට උපාධිධාරීන් බඳවාගෙන මේ වන විට වසර 05 කට අධික කාලයක් ගතවී ඇත.

අද පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබන උපාධිධාරීන් ඉහත පාඨමාලාවලට ඉතිරි දෙසතිය තුළ බඳවා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) II චාමික එච්. ගමගේ මහතා පැවසීය.

එමෙන්ම අද පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ පිරිස හා සළකා බැලීමේදී රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුරට (MLT)  අදාළව බඳවා ගැනීමට තවත් පුරප්පාඩු 245 ක ප්‍රමාණයක් සහ භෞත චිකිත්සක තනතුර සඳහා බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති තවත් පුරප්පාඩු 144 ක ප්‍රමාණයක් පවතින බවද චාමික එච්. ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.