දේශීය ආයුර්වේද වෛද්‍ය සේවයට එකවර වැඩිම වෛද්‍යවරුන් පිරිසක් බඳවා ගැනීමට යයි

aurveda-doctor

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  නොවැම්බර් මස 03 වන දින පෙ.ව. 9.00 ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ (නිල මැදුර) දී  සිදු කෙරේ. 

ඒ අනුව 2018 වසරට පසුව දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා විශාලතම වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් එකවර බඳවා ගැනීම මෙය වේ. 

මෙරට ආයුර්වේද සේවාවේ අනාගත ප්‍රතිඵලදායකත්වය වර්ධනය කිරීමටත්, ගුණාත්මක රෝගී සත්කාර සේවයක් ලබාදීම සඳහාත්, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි මෙම බඳවා ගැනීම් සිදු කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයූතු යොදනු ලැබිය.

දිවයින තුළ පිහිටි මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් සහ පළාත් සභා ආයුර්වේද රෝහල් තුළ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා පුහුණු, පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පත්වීම්ලාභීන් වසරක කාලයක් පරිපූර්ණ පුහුණුවක් ලබා ඇත.

මෙම බඳවා ගන්නා වෛද්‍ය නිලධාරින් රේඛීය අමාත්‍යාංශය සහ පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන ආයතන සහ රෝහල් සඳහාත්, පළාත් පාලන ආයතන කිහිපයක ආයතන වෙතත් යොමු කිරීමට ද නියමිතය.

ශ්‍රී ලංකාව තුළ පැතිර යන බෝවන හා බෝ නොවන රෝග මෙන්ම වසංගත තත්ත්වයන් පාලනය කිරීමට සහ වකුගඩු රෝගී තත්ත්වයන් බහුලව ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවාව  ලබාදීමට  ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.