2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති අය වැය යෝජනා සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය විසින් නොවැම්බර් 10 දින සිදුකළ මාධ්‍ය සාකච්ඡාව හා බැදුණු සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක අත්සනින් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
අප සුපුරුදු ලෙස අයවැයට පෙර ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ කරුණු 6 ක් යටතේ වූ යෝජනා 23 අතුරින් ජාතික ආර්ථිකය, මූල්‍ය ක්‍ෂේත්‍රයේ දායකත්වය හා දුෂණය පිටුදැකීම යන කරුණු කෙරේ යම් අවධානයක් යොමුව තිබුණද රාජ්‍ය බැංකු හා එහි සේවක ප්‍රජාව සහ කම්කරු අයිතීන් යන කාරණා කෙරේ කිසිදු අවධානයක් මෙවර අයවැය තුළ යොමු වී නැත.
මෙවර අයවැය යෝජනාවලියෙහි වියදම් යෝජනා 62 ක් තුළ යම් මට්ටමක ප්‍රගතිශීලී හා සංවර්ධනාත්මත යෝජනා ගණනාවක් තිබුණද පසුගිය 2025 අයවැය ද ඇතුළු පොදුවේ අයවැය යෝජනා සළකා බැලීමේදී ඒවා බොහෝමයක් ක්‍රියාත්මක නොවූ බව පෙනීයන බැවින් මෙවර යෝජනා තුළින් එම මූල්‍ය වෙන් කිරීම් හා ප්‍රතිලාභ රටේ ජනතාව ඇතුළු අවශ්‍ය අංශ කෙරේ නිසි ලෙස යොමු වන්නේද යන්න පිළිබඳව ආණ්ඩුව සැළකිලිමත් විය යුතු අතර, වෘත්තීය සමිති හා ජනතාවද ඒ ගැන දැඩි අවධානය යොමු කළ යුතුය.
සංගමය මෙවර අයවැය යෝජනාවලිය හරහා 2016 වසරේ සිට පැවැති අඩුපාඩු නිවැරදි කරමින් රාජ්‍ය සේවකයන්ට යළි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකර දීම පිළිබඳව දැඩි ප්‍රසාදය පළ කරන අතර, එම ක්‍රමවේදයට අනුව යමින් රාජ්‍ය බැංකු සේවකයන් වෙතද සංගමය යෝජනා කර ඇති පරිදි විශ්‍රාම ප්‍රතිලාභ නොපමාව ලබාදෙන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටිමු. මේ වනවිටත් රාජ්‍ය බැංකු සේවකයින්ට හිමි විය යුතු විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ පිළිබඳව යෝජනා සංගමය විසින් භාණ්ඩාගාරයට ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනා කමිටු වෙත යොමු කොට දිගින් දිගටම ප්‍රමාද කරමින් කටයුතු කරන ආකාරය දකින්නට තිබේ. එසේ නොකොට හැකි ඉක්මණින් රාජ්‍ය බැංකු සේවක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ නිසි පරිදි ස්ථාපිත කිරීමට සංගමය බලකර සිටී. එසේම මෙවර අයවැය සම්මත කිරීමට පෙර ඒ සඳහා වගන්තියක් ඇතුලත් කරන මෙන් ඉල්ලා සිටිමු.
පසුගිය ජනාධිපතිවරණයට පෙර සිට ලංකා බැංකු සේවක සංගමය ලෙස අපද ඇතුලත්ව, මෙම අසාධාරණ බදු අයකිරීමට එරෙහිව පිහිටුවාගත් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව (PTUA) ලෙස සියලු දේශපාලන ප්‍රවාහයන්ගේ අවධානය බදු සංශෝධන කෙරෙහි යොමු කරවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත්වී ඉදිරිපත් කරනු ලැබු පළමුවැනි අයවැය යෝජනාව මගින් බදු නිදහස් සීමාව රු. 100,000/- සිට රු. 150,000/- දක්වා වර්ධනය කිරීම පැසසුම් සහගත කටයුත්තක් වුවද වෘත්තිකයන්ගේ මූලික ඉල්ලීම වුයේ එම සීමාව රු. 200,000/- දක්වා වර්ධනය කොට බදු අනුපාත පහල හෙලන ලෙසය. එහෙත් මූලික අවස්ථාවේ ඉහත සංශෝධනය සිදුකළ බවටත්, ඊලඟ අවස්ථාවේ අපගේ මූලික ඉල්ලිම් යළි සමාලෝචනය කරන බවටත් ආණ්ඩුව පාර්ශවයෙන් තහවුරුවක් අප වෙත ලබාදෙන ලදී.
රජය මේ වසර තුළ සිය බදු ආදායම ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර, එයට වාහන ආනයනය තුලින් රුපියල් බිලියන 639 ක් උපයා ගැනීමද හේතු විය. එසේම උපයනවිට බදු (APIT) තුලින් අපේක්‍ෂා කළ ඉලක්කද ඉක්මවා යාමට සමත් විය. එසේම මේ වසරේද ආණ්ඩුව රු. බිලියන 4900 ක් ඉලක්ක කරන අතර, ඒ සඳහා සමාජ ආරක්‍ෂණ බද්දේ සීමාවද පහත හෙලා ඇති අතර, එයද යම් පමණකින් බදු බරින් මිරිකී සිටින වෘත්තිකයින් මත පතිත වේ. පවතින සියලු තත්වයන් සළකා බලමින් මෙවර අයවැයෙන් අවම වශයෙන් වෘත්තිකයින් සඳහා ඉතිහාසයේ ක්‍රියාත්මක වූ සේවා නියුක්ති සහනය (Employment Relief) යන්න සංගම් විසින් ඉල්ලා සිටියද ඒ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු නොවීම කණාගාටුදායකය. ඔවුන් වෙනත් බදු ගෙවන්නන්ගෙන් වෙන් කොට සිය දළ ආදායමට බදු ගෙවන බැවින් එය මීට පෙර ලබාදී තිබී මේ වනවිට අහෝසි කර ඇත.
ඒ අනුව මෙවර අයවැය යෝජනාවේ දී එම තහවුරු කිරීම් යථාර්තයක් බවට පත්වනු ඇතැයි අපේක්‍ෂා කළද එම තත්වයන් පිළිබඳව කිසිදු සඳහනක් අයවැය යෝජනාවට ඇතුලත් නොකිරීම සම්බන්ධයෙන් බරපතල කණගාටුව පළකර සිටිමු. ඒ අනුව අප ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් යළිත් ඉතා දැඩිව ඉල්ලා සිටිනුයේ වෘත්තිකයන් මත අසාධාරණ ලෙස පටවා ඇති බදු බර සංශෝධනය කිරීමට නොපමාව කටයුතු කරන ලෙසටය.
ඒ අනුව මෙවර අයවැය යෝජනාවේදී රාජ්‍ය බැංකුවල පැවැත්ම ගැන අවධානය යොමු කරනු ඇතැයි අපේක්‍ෂා කළද එවැන්නක් සිදු වී නොමැත.
මේ පිළිබඳව අප දැඩි අවධානයෙන් පසුවන අතර, රාජ්‍ය බැංකුවල කොටස් විකිණීම හෝ පෞද්ගලිකකරණය පිළිබඳව කිසිවක් මෙවර අයවැයේ සඳහන්ව නැත. එසේ වුවද රාජ්‍ය ව්‍යවසායන්ට බලපාන ප්‍රධාන පනත් කීපයක් ගෙන ඒමට යෝජනා වී ඇත. එනම් රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර පනත, රාජ්‍ය වාණිජ ආයතන කළමනාකරණ පනත, රාජ්‍ය ව්‍යාපාර සමාගමක් පිහිටුවීමේ පනත් වැනි මේවායේ හොඳ නරක තවම නිගමනය කළ නොහැක. ඒ නිසා ඒවායේ අඩංගු කරුණු මොනවාද යන්න සොයා බැලීමට සිදුවේ. කෙසේ වෙතත් රාජ්‍ය බැංකු පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවහොත් අප එයට කොන්දේසි විරහිතව නැඟී සිටින බව අවධාරණය කරමු.
මෙම සියලු තත්ත්වයන් කෙරෙහි සංගමය දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින අතර, HDFC හා SMIB යන රාජ්‍ය බැංකු දෙකද ඇතුළු සියලු රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතිය යටතේ තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යායුතු බව දැඩිව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
මෙවර අයවැය තුළින් ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්‍ෂණය, ප්‍රවාහනය වැනි ක්‍ෂේත්‍ර වලට පෙරට වඩා වැඩි මුදලක් වෙන්කර තිබීම හොඳ තත්ත්වයකි. එසේම මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය ද ඉහළ නංවා ඇත. එම වෙන් කිරිම් අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත ක්‍රියාවන් එසේම සිදුවන්නේ නම් එය ඉතා යහපත්ය. එබැවින් ඒවා එසේ සිදුවන්නේ ද යන්න පිළිබඳව විමසිලිමත්වීම හා ඒ සඳහා බලපෑම් කිරීම වෘත්තිය සමිති හා පොදු රටවැසියාගේ වගකීමයි. පසුගිය කාලය තුළ නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, දූෂණය පිටු දැකීම වැනි කාරණා කෙරේ ආණ්ඩුවේ අවධානය යොමුව තිබුණද ආර්ථිකයේ ප්‍රතිලාභ සමාජයේ පහළ කොටස් කෙරේ ගලායාමක් දක්නට නොලැබුණි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මඟපෙන්වීම් වලට පූර්ණ වශයෙන් යටහත් නොවෙමින් රටක් ලෙස ස්වාධීනව තීන්දු තීරණ ගනිමින් කටයුතු කළයුතු බැව් පෙන්වාදෙන අතරම ආණ්ඩුව පත්කිරීමට මූලික වූ ජනතා අභිලාෂයන් වලින් පිට පනිමින් ගමන් කරන්නේ නම් ඒ සඳහා උපරිම මැදිහත්වීම් වෘත්තිය සමිති ලෙස සිදුකිරීමට ලංකා බැංකු සේවක සංගමය ලෙස කටයුතු කරන බැව් අවධාරණය කර සිටිමු.
