ජලගැලීම් සහ නායයාම්වලින් විපතට පත්වූ ඔබ රජය දෙන සහන ලබා ගන්නේ කෙසේ ද?

dithwa-cyclon- in-sri lanka-1

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ජලගැලීම් සහ නායයාම්වලින් පීඩාවට පත්වූවන්ට වන්දි ලබා දීම ආරම්භ කර ඇති බව රජය පවසයි.

මෙම ආපදාවෙන් පුද්ගලයන් 600කට වැඩි පිරිසක් මිය ගිය අතර, ලක්ෂ දෙකකට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.

රජය නිවේදනය කර ඇති පරිදි ජීවිත සහ දේපළ අහිමිවූවන්ට මෙන් ම වගා හානිවලට සහ ව්‍යාපාර සඳහා බලපෑමට ලක්වූවන්ට මූල්‍ය සහන ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම සහන ලබා දීමේ ක්‍රියාවලිය සහ වන්දි ගෙවිය යුත්තන් නීර්ණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව බීබීසි සිංහල සේවය තවදුරටත් කරුණු සොයා බැලී ය.

වන්දි ලබා දිය යුත්තන් නිර්ණය කෙරෙන ක්‍රමවේදය කුමක් ද?

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න එම වන්දි ලබා දෙන ආකාරය මෙලෙස විස්තර කළේ ය.

"ග්‍රාම නිලධාරීන් හරහා අපි තොරතුරු එකතු කර ගන්නවා. ගෙවල් පූර්ණ වශයෙන් හානි සිදුවුණ ඒවා, අර්ධ වශයෙන් හානි වුණ ඒවා සහ අවදානම්සහගත කලාපවල ඉන්න ඒවා. ඊට පස්සේ ඒ හානිය තක්සේරු කිරීම සඳහා අමතර කමිටුවක් පත්කර ගන්නවා ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ. දිස්ත්‍රික් ලේකම්වරුන් තමයි ඒක සම්පූර්ණයෙන් ම සම්බන්ධීකරණය කරන්නේ."

විපතට පත් පාසල් දරුවන් පිළිබඳව ග්‍රාම සේවා නිලධාරින් වෙතින් තොරතුරු ලබාගෙන අධ්‍යපාන අමාත්‍යංශය හරහා අදාළ ඉදිරි කටයුතු සිදුකරන බව ද අමාත්‍යවරයා බීබීසි සිංහල සේවයට පැවසීය.

"පාසලට හරි තොරතුරු නැහැ, ග්‍රාම නිලධාරින්ට තමයි හරි තොරතුරු තියෙන්නේ පාසල් යන දරු‍වා ආපදාවට ලක්වුණ පවුලක දරුවෙක් ද කියන එක. ඒ තොරතුරු ලබා ගැනීම ඇතුළේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් තමයි අවශ්‍ය කරන මැදිහත් වීම කරන්නේ. මූලික තොරතුරු දෙන්නේ ග්‍රාම නිලධාරී සේවය හරහා."

මෙම තොරතුරු රැස් කිරීමට සංවර්ධන නිලධාරින් ඇතුළු පිරිසකගේ සහය ලබා ගන්නා බව ද ඇමති මහාචාර්ය චන්දන අබේරත්න බීබීසි සිංහල සේවය වෙත පැවසීය.

විපතට පත්වූවන්ට ලැබෙන සහන මොනවා ද?

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් සහන සැලසීමේ අරමුණ ඇතිව රජය විසින් ලබා දෙනු ලබන සහන සඳහන් කරමින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් සියලු ම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කරන ලද එම චක්‍ර ලේඛනයේ සඳහන් සහන පහත පරිදි වේ.

හදිසි ආපදා තත්ත්වය පහව යාමත් සමග ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල්වලට තම නිවාස නැවත පදිංචියට යෝග්‍ය පරිදි පිරිසිදු කර සුරක්ෂිතව පදිංචි වීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට එක්වරක් පමණක් ගෙවන දීමනාව, එක් නිවාස ඒකකයකට රු. 25,000.00ක්.

ආපදාවෙන් බලපෑමට ලක්වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගෙයි බඩු මුට්ටු ආදිය මිල දී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට එක්වරක් පමණක් ගෙවන දීමනාව, එක් නිවාස ඒකකයකට රු. 50,000.00ක්.

නායයාම් හා ගංවතුර හේතුවෙන් තම පදිංචි නිවස අහිමි වූ හෝ නිවස පූර්ණ ලෙස හානි වීම හේතුවෙන් ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව නිරත විය නොහැකි පවුල් වෙන මාස 03ක කාලයක් එනම් 2025 දෙසැම්බර් හා 2026 ජනවාරි හා පෙබරවාරි මාස සඳහා ගෙවනු ලබන මාසික දීමනාව, සාමාජිකයන් ගණන 02 හෝ ඊට අඩු පවුල් සඳහා රු 25,000/- සහ සාමාජිකයන් ගණන 02ට වැඩි පවුල් සඳහා රු. 50,000.00ක්.

නායයාම් හා ගංවතුර හේතුවෙන් තම නිවස අහිමි වී පදිංචි වීමට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා නව නිවසක් ඉදිකර ගන්නා තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීමට ලබා දෙන මාසික ගෙවල් කුලී දීමනාව, උපරිමය මාස 06ක් දක්වා මාසිකව රු. 25,000.00ක්.

ආපදාවෙන් බලපෑමට ලක්වූ වී, ධාන්‍ය, බඩ ඉරිඟු සහ ක්ෂේත්‍ර භෝග වගාබිම්වල වගා හානි හෝ නැවත වගා කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව හෙක්ටයාරයකට රු. 150,000.00ක්.

ආපදාවෙන් බලපෑමට ලක්වූ එළවළු වගාබිම්වල වගා නානි හෝ නැවන වගා කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව. හෙක්ටයාරයකට රු. 200,000.00ක්.

ආපදාවෙන් බලපෑමට ලක්වූ සත්ත්ව පාලන ගොවිපළවල් සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව (ලියාපදිංචි ගොවිපළ හිමියන් වෙත පමණි). එක් ගොවිපළ හිමියෙකුට රු. 200,000.00ක්.

ආපදාවෙන් බලපෑමට ලක්ව ඇණහිට ඇති තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව,

ඒකකයකට රු. 200,000.00ක්.

ආපදාවෙන් හානි වූ ධීවර බෝට්ටු සඳහා හානි පූරණය කිරීම, ධීවර බෝට්ටුවක් සඳහා උපරිමය රු. 400,000.00ක්.

ආපදා බලපෑමට ලක්වූ පාසල් සිසුන්ට පොත්පත් සහ ඇඳුම් පැළඳුම් මිල දී ගැනීම සඳහා එක්වරක් පමණක් ලබා දෙන දීමනාව, එක් පාසල් දරුවෙක්ට රු.15,000.00ක්.

ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා හානි පූරණය, ඒකකයකට උපරිමය රු. 5,000,000.00 දක්වා හානි පූරණය. (හානි තක්සේරුව අනුව)

ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති, පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට ලබා දෙනු ලබන දීමනාව නිවාස ඒකකයකට රු. 5,000,000.00ක්.

ආපදා බලපෑම හේතුවෙන් පදිංචිව සිටි නිවස පූර්ණ වශයෙන් හානි වී ඇති විට, නව නිවසක් ඉදිකිරීම සඳහා රජයේ ඉඩමක් ලබා දීමට නොහැකි අවස්ථාවකදී සුදුසු ඉඩමක් මිල දී ගැනීමට ගෙවනු ලබන දීමනාව, එක් නිවාස ඒකකයකට උපරිමය රු. 5,000,000.00ක්.

ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිසකර කර ගැනීම සඳහා ගෙවනු ලබන දීමනාව, උපරිමය රු 2,500,000.00ක් දක්වා. (හානි තක්සේරුව අනුව)

ආපදා බලපෑම හේතුවෙන් සිදුවූ ජීවින හානියකදී මිය ගිය පුද්ගලයාගේ ළඟ ම ඥාතියා වෙත හෝ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමකදී අදාළ පුද්ගලයා වෙත ලබා දෙන දීමනාව, එක් පුද්ගලයෙක් වෙත රු. 1,000,000.00ක්.

තව ද, අංක 2464/30 දරන නොවැම්බර් 28 දිනැනි අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති හදිසි ආපදා තත්ත්වයට පමණක් ඉහත සහන සීමා වන බව ද චක්‍ර ලේඛනයේ දක්වා ඇත.

(bbc/sinhala)