මාළිගාවත්ත වකුගඩු රෝහලේ රාජකාරී ආවරණය කරන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පුද්ගලික හිතවත්කම් මත සුදුසුකම් නොලත් පුද්ගලයන් රෝහලට ගෙන්වා රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදුකොට රෝගීන් අනතුරට ලක් කර ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයට අනුව,
මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරී ආවරණය කිරීමේ නිරතවන පුද්ගලයා විසින් අවස්ථා කීපයකදීම තම පුද්ගලික හිතවත්කම මත සුදුසුකම් නොලත් පුද්ගලයන් රෝහල තුළට ගෙන්වා රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදුකොට රෝගීන්ව විකිරණ අවදානමකට ලක් කිරීමට කටයුතු කොට ඇත. මෙම පුද්ගලයා අවස්ථා කිහිපයකදීම සිදුකළ මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට පැමිණිලි කලද ඔහුට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගත් අතර එවැනි නීති විරෝධී ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයන් තවදුරටත් ආරක්ෂා කරමින් කටයුතු කිරීම බරපතල ගැටළුවක් වී ඇත.
එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරයෙහි කටයුතු කරන පුද්ගලයා විසින් රෝගීන් මෙලෙස අවදානමකට ලක් කරනවා මෙන්ම රෝහලෙහි රෝගීන් ගිලන් රථ මඟින් පුද්ගලික රෝහල් වෙත යොමු කර මුදල් ගෙවා විකිරණ පරීක්ෂණ සිදු කිරීමද මේ වන විට සිදුකරගෙන යයි. මෙම පුද්ගලයා මෙලෙස කටයුතු කරනු ලබන්නේ අදාල රෝහල වෙත සුදුසුකම් ලත් විකිරණ තාක්ෂණවේදී නිලධාරින් දෙදෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනියුක්ත කොට සිටියදීය. එම නිලධාරීන්ගේ සාමාන්‍ය රාජකාරී වෙලාවෙන් පරිබාහිරව අදාල පරීක්ෂණ සිදු කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදුවූ නොකොට දිගින් දිගටම පුද්ගලික රෝහල්වලින් සහ සුදුසුකම්වලත් පුද්ගලයන් ගෙන්වා මුදල් ගෙවා පරීක්‍ෂණ සිදු කරවා ගැනීමට කටයුතු සිදු කරයි. මෙලෙස මෙම පුද්ගලයා විසින් සිදුකරන අනීතික ක්‍රියාව සඳහා සෞඛ්‍ය සේවාවේ මුදල් විශාල ප්‍රමාණයක් මේ වන විට වැය කොට ඇති අතර එම මුදල් ගෙවීම සඳහා අනුමැතිය ලබා දුන් පුද්ගලයන්, එම ගෙවීම් කටයුතු සිදුකළ පුද්ගලයන්ද නීති විරෝධී ආකාරයෙන් කටයුතු ඇති අතර කඩිනමින් එම නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ සිදු කොට දඬුවම් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම රෝහල් පරිශ්‍රය වෙත සුදුසුකම් නොලත් සහ අනවසර පුද්ගලයන් ගෙන්වා පරීක්ෂණ සිදු කිරීමට අවස්ථාව ලබාදී රෝහලේ යන්ත්‍ර උපකරණ වලට මෙන්ම විකිරණ ඡායා පටලවලටද එම පුද්ගලයන් විසින් හානි පමුණුවා ඇත. මේ පිළිබඳව අදාළ රෝහලේ නිලධාරීන් විසින් රෝහල් බලධාරීන්ට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුවත් කර ඇතත් මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් අදාළ කිසිදු පාර්ශවයක් විසින් සිදු කොට නොමැත.
මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග සෞඛ්‍ය බලධාරීන් විසින් නොගතහොත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා ජාතික රෝහල සහ මාලිගාවත්ත වකුගඩු රෝහලෙහි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට තීරණය කර ඇති අතර තවදුරටත් මේ පිළිබඳව නොසලකා හරින්නේ නම් දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සඳහා මේ වන විට තීරණය කර ඇත.

