ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජනමාධ්‍යවේදී ප්‍රියාන් මලින්ද මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කඩිනම් කිරීමට අදාළව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් සාකච්ඡාවක් සඳහා ඉල්ලීමක් කර ඇති.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,
2025/05/17 වන දින හබරණ තලපත්කන්ද ප්‍රදේශයේදී සිදු වූ ජනමාධ්‍යවේදී ප්‍රියාන් මලින්ද මහතාගේ අභිරහස් මරණය මිනීමැරුමක් බවට සැක කළ හැකි හේතු ඇති බව ඒ මහතාගේ බිරිඳ වන එච්. එම්. ආර් දිනාලංකාර මහත්මිය අප වෙත දන්වා ඇත. මෙම මරණය රිය අනතුරක් ලෙස හුවා දැක්වීමට උත්සාහ ගනු ලැබුවද ඒ සම්බන්ධයෙන් පවතින සැක සහිත තත්ත්වය මත මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බව ඇය පවසයි.
එසේම දිනාලංකාර මහත්මිය පවසන්නේ මරණය සම්බන්ධයෙන් මූලික පොලිස් පරීක්ෂණ සිදු වූ ආකාරයද පරස්පරතා සහිත සහ සැක උපදවන සුළු බවයි.
ඇය මේ පිළිබඳව දැනටමත් ජනාධිපති කාර්යාලය, මානව හිමිකම් කොමිෂන් සභාව මෙන්ම ඔබතුමන්ද දැනුවත් කර ඇති බව අප වෙත දන්වා ඇත.
ඔබ වෙත කළ දැනුම් දීමක් තිබේ නම් ඒ සම්බන්ධව මේ වනවිට කිසියම් පියවරක් ගෙන ඇතිද යන්න දැනගැනීම අපගේ අභිලාෂයයි. එසේම අපගේ ඉල්ලීම වන්නේ මේ හා බැඳුණු පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීම සිදු කළ යුතු බවයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියද මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පෙනී සිටීමට තීරණය කර ඇත. ඒ අනුව ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණයටද මේ පිළිබඳව දැනුවත් කිරීම් සිදු කර ඇත.
එබැවින් අදාළ පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔබතුමන් හෝ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන් හමුවීමට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

