ප්‍රසිද්ධ ආහාර සැපයුම් ජාලයේ කම්කරු නීති රැකලාද සොයන්න කම්කරු නි. ඇමති නියෝග

ප්‍රසිද්ධ ආහාර සැපයුම් ජාලයේ කම්කරු නීති රැකලාද සොයන්න කම්කරු නි. ඇමති නියෝග

මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති දිවයිනේ සුප්‍රසිද්ධ ආහාර සැපයුම් ජාලය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

අදාළ ආහාර සැපයුම් ජාලයේ හිමිකරු බව කියන පුද්ගලයකු විසින් එහි සේවකයින් වාචික සහ කායික හිංසනයට ලක් කිරීමේ සිදුවීම් පිළිබඳවද සොයා බලන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

ඊට අමතරව කම්කරු නීතී රීතිවලට අනුකූලව සේවක අර්ථසාධක සහ   සේවක භාරකාර අරමුදල් සේවකයින් වෙනුවෙන් නිසි පරිදි ගෙවා තිබේද යන්න මෙහිදී සොයා බැලීමට නියමිතය.

මෙම ආහාර සැපයුම් ජාලයේ ශාඛා 12ක් දිවයිනේ පිහිටා ඇති අතර ඒවා වෙන් වෙන්ව කම්කරු නිලධාරීන් විසින් සමූහ පරීක්ෂාවකට ලක් කිරීමට අපේක්ෂිතයි.

ඇතැම් ශාඛා පසුගිය කාලය තුළ වසා දමා ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඒවා වසා දැමීමේදී එහි සේවකයින්ට නීත්‍යානුකූලව හිමිවිය යුතු වන්දි ආදිය ලබා දී තිබේද යන්න සොයා බලන ලෙසද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා  විසින් දැනුම් දී ඇත.

එහිදී සේවකයින් සිය සේවා ස්ථානය තුළ මුහුණ දෙන ගැටළු සහ  කාර්මික ආරවුල් ආදිය සම්බන්ධයෙන්ද ඔවුන්ගෙන් අදහස් ලබා ගැනීමටද නියමිතය.

එම සියලු කරුණු ඇතුළත්ව සකස් කෙරෙන සම්පූර්ණ වාර්තාව එළැඹෙන ජූලි 07 වැනිදාට  තමා වෙතභාර දෙන ලෙසයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින්  කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.