පුද්ගලික අංශයේ වැඩිකරපු තිස්දාහ නොගෙවූ ආයතන සොයයි

mahinda-jayasinghe

වත්මන් රජය බලයට පත් ව අවස්ථා දෙකකදී ඉහළ දැමුණු පුද්ගලික අංශයේ අවම ජාතික වැටුප මෙතෙක් නොගෙවා ඇති ආයතන සම්බන්ධයෙන් සොයා බලන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා  කම්කරු දෙපාර්තමේන්තුවට පසුගිය (13) දින උපදෙස් ලබා දුන්නේය.

වත්මන් රජය බලයට පත්වීමට ප්‍රථම පුද්ගලික අංශයේ අවම ජාතික වැටුප රු. 17500ක් වූ අතර අවම දෛනික වැටුප රු. 700ක් විය.

කෙසේ වෙතත් 2025 වර්ෂයේ අප්‍රියෙල් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අවම වැටුප රු. 17500 සිට රු. 27000 දක්වාත් අවම දෛනික වැටුප රු. 700 සිට රු. 1080 දක්වාත් ඉහළ දැමිණි.

අනතුරුව මේ වසරේ (2026) ජනවාරි පළමුවැනිදා සිට අවම ජාතික වැටුප රු. 27000 සිට රු. 30000 දක්වාත් අවම දෛනික වැටුප රු. 1080 සිට රු. 1200 දක්වාත් යළි වැඩි කෙරිණ.

ඒ අනුව වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව පුද්ගලික අංශයේ අවම ජාතික වැටුප සහ අවම දෛනික වැටුප 71%ක් වැනි ඉහළ ප්‍රතිශතයකින් වැඩි කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නේය.

රාජ්‍ය බැංකුවක සේවයේ නියුතු පෞද්ගලික  ආරක්ෂක අංශ නිලධාරින්ට අවම ජාතික වැටුප නොගෙවීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කම්කරු අමාත්‍යංශයේ පැවති එම සාකච්ඡාවට අදාළ ආයතනවල ඉහළ  කළමනාකාරිත්වය මෙන්ම කම්කරු දෙපාර්තමේන්තු නිලධාරින් පිරිසක්ද එක්ව සිටියහ.