සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) සහ සේවක භාරකාර අරමුදල (සේ.භා.අ.) වඩා කාය–ක්ෂම කර එහි සාමාජිකයින්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ යහපත් ආණ්ඩුකරණයක් තුළ වගවීමට හා වගකීමට යටත්ව අදාළ අරමුදල් වඩා සුරක්ෂිත කිරීමට හැකිවන බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නායකයින් සහ කම්කරු නියෝජිතයින් සමග කම්කරු අමාත්‍යංශයේ පැවති කතිකාවකට සහභාගි වෙමින්.
වත්මන් ආණ්ඩුව සේ.අ.අ. සහ සේ.භා.අ. විනාශ කිරීමට කටයුතු කරන බවට ඇතැම් පාර්ශව සිදු කරන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි.
කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉතිහාසය තුළ විවිධ අවස්ථාවලදී මෙම අරමුදල් දෙක අවභාවිත කර ඇති බවයි.
වත්මන් රජයේ අරමුණ එවැනි අවභාවිතයන් වළක්වා අදාළ අරමුදල් විනිවිදභාවයකින් යුතුව වඩා සුරක්ෂිත කිරීම බවයි.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ සේ.අ.අ. සහ සේ.භා.අ. ඒකාබද්ධ කර තනි අරමුදලක් ස්ථාපනය කරන බවට එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි.
අදාළ අරමුදල් වෙන වෙනම පවත්වා ගෙන යන අතරතුර ඒවායේ පරිපාලනය සහ කළමනාකරණය වෙනුවෙන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම රජයේ අපේක්ෂාව වී ඇති බවයි.
ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇති බවද මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඇතැම් රාජ්‍ය සමාගම්වල සේ.අ.අ., සේ.භා.අ. සහ පාරිතෝෂික දීමනා නොලද සේවකයින්ට එම ප්‍රතිලාභ ගෙවීම සඳහා මේ වසරේ රු. මිලියන 5000ක් වෙන් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කතිකාව තුළ පැමිණ සිටි වෘත්තීය සමිති නියෝජිතයින්ට ප්‍රශ්න ඇසීමටද අවස්ථාව ලබා දී තිබිණි.
එහිදී ඔවුන් සිය ගැටලු ඉදිරිපත් කළ අතර ඊට කම්කරු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කිරීම් ලබා දුන්හ.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.




