පුහුණුව අවසන් කළ නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට පත්වීම් ප්‍රදානය කෙරේ

new-midwife-appointment-2026

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) දින අරලියග මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරුණි.

වසර එකහමාරක සාර්ථක හා විධිමත් පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පත්වීම් ලැබූ මෙම නිලධාරිනියන්, දිවයින පුරා පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කෙරේ.

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය සේවාවන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවය, ජනතාව වෙත සෞඛ්‍ය සේවාවන් වඩාත් සමීපව හා අඛණ්ඩව සැපයීමේදී සුවිශේෂී වැදගත්කමක් උසුලයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය කාල වකවානුවක මෙම පත්වීම්ලාභි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සෞඛ්‍ය සේවාවට එක්වන බවත්, වත්මන් සෞඛ්‍ය සේවාව ගමන් කරන දිශානතිය නිවැරදිව දැන සිටීම මගින් ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේදී එය වඩා පහසුවක් වනවා මෙන්ම එම ගමන් මගට බාධාවන් විය හැකි විවිධ වෘත්තීන් අතර වන හැලහැප්පීම් අවම කර ගැනීමටද පහසුවක් වනු ඇති බව ද පැවසීය.

පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් උදෙසා මෙරට සියලු ජනතාවට නිරෝගිමත්, සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" වැඩපිළිවෙළ තුළ රජය සියලු අංශ මෙහෙයවන බවද මෙතුවක් කල් එම ඉළක්කය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ කරුණු කාරණා සොයා බලා ඊට පිළියම් යොදන බවද පැවසීය.

 මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද මෙහිදී අදහස් දක්වන ලදි.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම්වරුන්වන චාමික එච්. ගමගේ,  හර්ෂණී සිරිනාම යන මහත්ම මහත්මීන් මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image