ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරදඬුවම් විඳීම සඳහා නැවත බන්ධනාගාරගත කිරීමෙන් පසුව, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කරගනිමින් දියත් කර ඇති අපහාසාත්මක, සහ ප්‍රචණ්ඩත්වයට අනුබල දීමේ ප්‍රචාරණය මාධ්‍ය සංවිධාන සාමූහිකයක් ලෙස අප දැඩි ලෙස හෙළා දකිමු. මෙම ප්‍රචාරණ ව්‍යාපාරය මගින් ගොඩනැගෙන වාතාවරණය එක්නැලිගොඩ මහත්මියගේ ආරක්ෂාව අවදානමකට ලක් කිරීමේ තත්ත්වයකට සීමා නොවන බව අපගේ නිරීක්ෂණයයි.
එය රට තුළ දැනටමත් ඔඩු දුවමින් පවතින වෛරී දේශපාලන සංස්කෘතිය තව දුරටත් කුළුගන්වන්නකි. එය අප සතු විවිධ මාධ්‍ය අවකාශයන් අවභාවිත කිරීමක් වන අතර යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට ද එරෙහි වන්නකි.එමෙන්ම මෙහිදී එක්නැලිගොඩ මහත්මිය පෙනී සිටින්නේ ඇයගේ සැමියා වන, ප්‍රගීත් එක්නැලිගොඩ 'අතුරුදහන්වූ මාධ්‍යවේදියාගේ' අයිතීන් වෙනුවෙන් බවද අපි සිහිපත් කරමු.
ඥානසාර හිමියන් මේ වන විට දඬුවම් ලබන්නේ 2018 දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයාට බලපෑම් කිරීමට අදාළ චෝදනා ඔප්පු වීමෙන් පසුවය. එම සිදුවීම පිළිබඳ අභියාචනාධිකරණයට පැමිණිල්ල යොමු කළේ හෝමාගම මහෙස්ත්‍රාත්වරයා විසින් වන අතර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය නියෝජනය කළේ අදාළ නඩුවේ අගතියට පත් පාර්ශවයයි. 2018 අගෝස්තු මාසයේදී ඥානසාර හිමිට වසර හයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වූ අතර, පසුව ජනාධිපති සමාව යටතේ 2019 මැයි මාසයේදී ඥානසාර හිමියන් නිදහස් කරනු ලැබීය. යළි එම තීරණය ආපසු හැරුණේ ජනාධිපති සමාව බලරහිත කරන ලද ඉහත තීරණය අත්තනෝමතික වන හා නීත්‍යානුකූල නොවන එකක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගෝස්තු අටවැනි දා ලබාදුන් තීන්දුව හේතුවෙනි. එබැවින් මෙම ක්‍රියාවලිය තුළ වෛරයට ලක් විය යුතු යම් ක්‍රියාවක් එක්නැලිගොඩ මහත්මිය අතින් සිදුවී ඇතැයි කිසිවකුට කිව නොහැකිය.
මෙරට මාධ්‍ය සංවිධාන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් තිරසරව පෙනී සිට ඇති අතර තවදුරටත් එසේ පෙනී සිටින බවද මෙහිදී කිව යුතුය. කෙසේ වෙතත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මගින් තනි පුද්ගලයෙකුට හෝ යම් ප්‍රජාවකට එරෙහිව තර්ජනය කිරීම, උසිගැන්වීම හෝ ප්‍රචණ්ඩත්වය දෙසට තල්ලු කරන ප්‍රචාරණයන් අපට කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකිය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ, 20(2) වගන්තිය මගින් විසමතාව, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමක් ඇති කරන ආකාරයේ ජාතික, ආගමික හෝ ජාතිවාදී ද්වේෂය ප්‍රචාරය කිරීම සියලු පාර්ශවයන්ට නීතියෙන් තහනම් කිරීම අනිවාර්ය කර තිබේ.
වසර 16 කට වැඩි කාලයක් තිස්සේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අතුරුදහන් වූ තම සැමියා වෙනුවෙන් සත්‍යය සහ සාධාරණය පතමින් සිටියදී නීත්‍යානුකූල අධිකරණ ක්‍රියාවලියක් මගින් ගත් තීරණයක් වෙනුවෙන් ඇගේ ආරක්ෂාවෙන් වන්දි ගෙවීමට ඇයට සිදු නොවිය යුතුය. පවතින අනතුර පිළිබඳව බලධාරීන් දැනුවත්ව ඇති බැවින් ඇය ආරක්ෂා කිරීමට, නීතියේ ආධිපත්‍යය සුරැකීමට සහ තත්ත්වය තවත් අර්බුදකාරීවීම වැළැක්වීමට එම බලධාරීන් වහාම ක්‍රියා කළ යුතු බවද අපි අවධාරණය කරමු.
නීතියට ගරු කිරීම යනු තමන් කැමති තීන්දුවලට පමණක් ගරු කිරීම නොවේ. එසේම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු අන්‍යයන්ගේ ආරක්ෂාව හා ගෞරවය විනාශ කිරීමට ඇති අයිතියක් ද නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ නීතියේ ආධිපත්‍යය, මානව ගෞරවය සහ වගකීම් සහගත ප්‍රකාශනය එකසේ ආරක්ෂා වන විටය. ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමකි.
මෙවැනි පසුබිමක් තුළ දේශපාලන හෝ වෙනත් ලාභ ප්‍රයෝජන සඳහා ආගමික හා ජාතික සංවේදීතාවන් සූරා කෑමේ උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස පහත අත්සන් තබන අප මාධ්‍ය සංවිධාන දේශපාලන හා ආගමික නායකයන්ගෙන් දැඩිව ඉල්ලා සිටිමු.
