නූතනත්වයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කළ යුතුයි – කම්කරු නියෝජ්‍ය ඇමති කියයි

anton-marcus

යල් පැන ගිය අණපනත් වෙනුවට වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය එළැඹ ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

මෙරට කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා වන පරිදි අදාළ නව සංශෝධන සිදු කිරීම රජයේ අපේක්ෂාව බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ යෝජිත කම්කරු නීති සංශෝධන පිළිබඳව වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය කළ බස්නාහිර පළාත් වැඩසටහනට (28) දින කම්කරු අමාත්‍යාංශයේදී සහභාගි වෙමිනි.

කම්කරු දෙපාර්තමේන්තුවට අදාළ නීති හා අණපනත් නූතනත්වයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා යෝජනා සකස් කිරීමට පසුගිය වසරේදී කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කෙරිණි.

එම අනුකමිටුව විසින් සකස් කරන ලද යෝජනාවලිය සම්බන්ධයෙන් වෘත්තීය සමිති, සේවායෝජකයන් මෙන්ම මහජනතාවගේ ද අදහස් ලබා ගැනීමේ අරමුණින් පළාත් මට්ටමින් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර ඇත.

අදාළ යෝජනාවලිය පසුගිය අගෝස්තු මස 07 වැනිදා ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර ඇති අතර, නව සංශෝධන සම්බන්ධයෙන් එම සභාවේ අදහස් හා යෝජනා ද මේ වන විට ලබා ගනිමින් පවතී.

ඊට සමගාමීව වෘත්තීය සමිති, ලංකා හාම්පුතුන්ගේ සංගමය ඇතුළු අදාළ පාර්ශ්වවල අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනිමින් නව කම්කරු නීති සංශෝධන සඳහා අවසන් කෙටුම්පතක් සකස් කිරීමට නියමිතය.

යෝජිත නව සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, නිෂ්පාදන ආර්ථිකය පුළුල් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම ද නව කම්කරු නීති හඳුන්වා දීමේ ප්‍රමුඛ අරමුණක් බවයි.

මේ සම්බන්ධයෙන් වන අවසන් නීති කෙටුම්පත සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වැඩසටහනට එක්ව සිටි වෘත්තීය සමිති නියෝජිතයන්ට යෝජිත නව කම්කරු නීති සංශෝධන සම්බන්ධයෙන් තම ගැටලු, අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි විය. එහිදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා සහ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය විසින් කරුණු පැහැදිලි කරන ලදී.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image