21 පාසල් ඇරඹීම දේශපාලනඥයින් බාර අරන් - ස්ටාලින්ගෙන් අනාවරණයක්!

21 පාසල් ඇරඹීම දේශපාලනඥයින් බාර අරන් - ස්ටාලින්ගෙන් අනාවරණයක්!
එළඹෙන 21 වනදා පාසල් ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් සතු යතුරු බලහත්කාරයෙන් ලබාගැනීමේ උත්සාහයක ප්‍රාදේශීය දේශපාලකයින් නිරතව සිටින බව ලංකා ගුරු සංගමය අනාවරණ කරයි.
 
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඒ පිළිබඳ මෙසේ සඳහන් කළේය.
 
"21 වැනිදාට පෙර විසඳුමක් නොදුන්නොත් අපේ ක්‍රියාමාර්ග ඉස්සරහට ගන්නවා. පාසල්වල සම්පත්වල වගකීම දරන්නේ විදුහල්පති. යතුරු අරගෙන බලෙන් පාසල් අරිනවාලු. බඩුවලට වගකියන්නේ කවුද?. ඇමති චන්ද්‍රෙස්නගේ ගෙදරට අම්මලා පිරිසක් ආවා. අනුරාධපුර නගර සභාවේ නාගරික මන්ත්‍රිනියක් තමයි ඉස්සරහ ඉන්නේ. ඇමතිගේ බරපතළ ප්‍රකාශය මොකක්ද? ගමේ ගෙදර ඉන්න ගුරුවරයාට තර්ජනය කරන්න කියලයි කියන්නේ. එහෙම කියන්න ඇමතිට තියෙන අයිතිය මොකක්ද?"
 
මේ අතර ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, වැඩබලන විදුහල්පතිවරුන්ගේ සංගමය සහ අධිසේවා විදුහල්පති එකමුතුවේ නියෝජිතයින් අද (16) යළිත් අනුරාධපුරයේදී එස්.එම් චන්ද්‍රෙස්න අමාත්‍යවරයා හමුවී තිබේ.
 
ලබන 21 වැනිදා පාසල් ගොස් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට තම පිරිස සූදානම් බව අමාත්‍යවරයා හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එහිදී ඔවුන් කියා සිටියහ.
 
මේ අතර එලඹෙන 21 වැනිදා පාසල් ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව හෝමාගම ප්‍රදේශයේ සිසුන් 200ට අඩු පාසල් සියල්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් අද ආරම්භ කර තිබුණි.
 
ඒ අනුව හෝමාගම දීපාන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ දරුවන්ගේ මව්පියන් එක්ව අද පාසල පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළ අතර එය නිරීක්ෂණය සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැමිණ සිටියේය.
 
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ රුවන්වැල්ල ආසනයේ නියෝජිතයින් අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ කිසිම අවස්ථාවක ගුරු සටන පාවාදීමට තමන් සූදානම් නොමැති බවයි.
 
තම සංගමයට නායකත්වය ලබාදෙන හඳපාන්ගොඩ මහත්මිය විසින් ගුරු වෘත්තිය හෑල්ලුවට ලක් කරන අයුරු මෙන්ම රජය අපහසුතාවට පත් කරන ප්‍රකාශ සිදුකරනු ලබන බවටද ඔවුහු චෝදනා කළහ.
 
මේ අතර පාසල් වාරය ආරම්භවීමට පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කරනු ලබන රියදුරන් සහ සහායකයින් පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්දැයි සොයාබැලීමට වැඩසටහනක් ආරම්භ කරන බව පොලීසිය පවසයි.
 
කෙසේ වෙතත් මේවන විට තොරතුරු අනාවරණය වෙමින් පවතින්නේ ගුරු-විදුහල්පති වැටුප් ප්‍රශ්නයට සැබෑ විසඳුමක් ලබාදීම වෙනුවට දේශපාලනඥයින් විසින් තව තවත් ගැටළුව උග්‍ර කිරීමට දරන වෑයමකි.