සෞඛ්‍ය සේවයේ 24 හා 25 සංකේත වර්ජනය ගැන සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කරයි

strike

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ නොවිසඳුනු ගැටළු පිළිබඳව සාකච්ඡාමය විසඳුම් අසාර්ථක වීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඒකාබද්ධ ලිපියක් යවන පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය හා  වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය දැනුවත් කිරීම සිදුකර ඇත.

මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ඇතුළු හෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් 2021.11.17 දින සිදු කරන ලද සංකේත වර්ජන ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඊට අදාල රජයේ බලධාරීන් මෙතෙක් සාර්ථක සාකච්ඡාමය විසඳුම් ක්‍රියාවලියකට අවතීර්ණ වී නොමැති බව අවධාරණය කරමි.

මේ අනූව පහත ඉල්ලීම් මූලික කර ගනිමින් නැවතත් නොවැම්බර් 24 හා 25 දිනයන්හීදී යලි සංකේත වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.

1.       2021 ජූලි මස 05 වන දින අමාත්‍ය මණ්ඩලය අනුමත කල,

a.       මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාලව

b.       වසර 12න් පළමු පන්තිය ලබන ශ්‍රේණි උසස්වීම් ක්‍රමයට අදාලව,

i.      පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාල චක්‍රලේඛය නිකුත් කිරීමට වන ප්‍රමාදය

ii.      විෂමතා ඉවත් වන පරිදි 2010/11/01 දින දක්වා අදාල තීරණය පෙරදාතම් කිරීම වෙනුවෙන් නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීම.

2.       වෘත්තීයවේදී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම සහ ගැළපෙන තනතුරු/රැකියා අවස්ථා හිමිකර දීම.

3.       සියළු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය” ස්ථාපිත කිරීම

4.       වැටුප් විෂමතා නිවැරදි කිරීමට අදාලව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ “රනුග්ගේ වැටුප් කමිටු වාර්තාව” මෙතෙක් ක්‍රියාත්මක නොවීම.

5.       විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහල දැමීම.

6.       අතිකාල රේට් අගය නිර්ණයේදී සියළු සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80 ක් ලෙස ගණනය කිරීම සහ ඊට සාපේක්ෂව ඇමතුම් හා නිදර්ශක දීමනාව වැඩි කිරීම.

7.       සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාවට ඇතිවන කිසියම් හෝ පීඩාවක් වෙතොත් එහි වගකීම අප විසින් භාර නොගන්නා බවත්, කාර්ය මණ්ඩලයේ ගැටළු විසඳීම සඳහා සාකච්ඡාමය ඉඩ කඩ අවහිර කරමින් සිය රාජකාරීමය වගකීම පැහැර හැර ඇති නිළධාරීන් එම වගකීම භාරගතයුතු බවත් තරයේ අවධාරණය කරමි.

මෙම ක්‍රියාමාර්ගය වලක්වා ගැනීම සඳහා සාකච්ඡාමය අවස්ථාවන් තවදුරටත් පවතින බව ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමි.