හැටන් වැලිඔය වත්තේ සත්‍යග්‍රහයක්

estate-workers

තම රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙස ඉල්ලමින් හැටන් වැලිඔය වතුයායේ වතු කම්කරුවන් පස් දෙනෙකු 2021.11.22 සඳුදා උදෑසන සිට සත්‍යග්‍රහයක නිරතව සිටිති.

2021.06.15 වන දින හැටන් වැලිඔය වතුයායේ කම්කරුවන් ඇතුළු ජනතාව කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඔවුන් හුදකලා කර ඇති නිසා තම රැකියා ආරක්ෂා කරන ලෙස කළ උද්ඝෝෂණයේදී වතු කම්හලට අලාභහානි සිදු කළ බවට වතු පාලනාධිකාරිය කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින්  විරෝධතාකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදි ඔවුන් රිමාන්ඩ් රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණු අතර, පසුව ඇප මත මුදා හැර ඇත.

වතු පාලනාධිකාරිය විසින් මෙම රක්ෂිත බන්ධානාගාර ගතවී සිටි කම්කරුවන්ගෙන් හතරදෙනකුට නැවත රැකියාව ලබාදී ඇති අතර, අනෙක් පස්දෙනාට රැකියාව ලබාදී නොමැත.

මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇති අය පවසා සිටින්නේ මාස  4ක කාලයක සිට රැකියා ලබා නොදීම හේතුවෙන් තම පවුල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවත් තමන්ට නැවත රැකියා ලැබෙන තුරු සත්‍යග්‍රහ අරගලය අඛණ්ඩව සිදුකරන බවත්ය.