නවක හෙද හෙදියන් 2519 ක් පත්වීම්

නවක හෙද හෙදියන් 2519 ක් පත්වීම්

නවක හෙද හෙදියන් 2519 දෙනෙකු සෞඛ්‍ය සේවවාට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද (17) පෙරවරු 9.00 ට  ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

2018 සිසු හෙද කණ්ඩායම යටතේ 2020.01.26 දින ආරම්භ කල තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් 2519 දෙනෙකු නවක හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලැබීමට නියමිතය.

ගුණාත්මක හා ප්‍රශස්ථ රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාම අරමුණු කර ගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල හා පලාත් සභාව යටතේ පාලනය වන රෝහල් වල පවතින පුරප්පාඩු සලකා බලා මෙම නවක හෙද නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය. 2023.11.22 වන දින සිට ක්‍රියාක්මක වන පරිදි මෙම පත්වීම් ලිපි ලබාදෙනු ඇත.

මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  හෙද නිලධාරීන් 42,000 කට  අධික  ප්‍රමාණයක් සේවය කරන අතර මෙම නවක හෙද හෙදියන් 2519 දෙනා සුව සේවවාට එක්වීමත් සමඟ එම ප්‍රමාණය 45,000 ක ප්‍රමාණය ඉක්මවනු ඇත.

මේ වන විට දිවයින පුරා හෙද පුහුණු පාසල් 16 ක හෙද සිසු සිසුවියන් 6500 අධික ප්‍රමාණයක්  පුහුණු පාඨමාලාවල නිරත වේ. එම පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු එම පිරිසද මෙරට රෝගී සත්කාර සේවාවට එක් කර ගැනීමට නියමිතය.

එමෙන්ම විශ්ව විද්‍යාල මගින් හෙද උපාධිය හදාරා හෙද සේවයට 500 ක පමණ ප්‍රමාණයක් හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු සූදානම් කරමින් පවතී .