ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනයේ 31 වන සැසිවාරය පවත්වයි

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනයේ 31 වන සැසිවාරය පවත්වයි

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනයේ 31 වන සැසිවාරය (21) දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.

මෙම  සැසිවාරයේදී ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලයින්ගේ විද්‍යායතනයේ 2024 වර්ෂය සදහා නව සභාපතිවරයා පත් කර ගැනීමද සිදුවුනු අතර නව සභාපතිවරයා  ලෙස  කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පත් කෙරිණි. ඊට අදාල විශේෂ පළදනාව හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා විසින් නව සභාපතිවරයා හට මෙහිදී  පලදවන ලදී.

නව සභාපතිවරයා  ලෙස පත්වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත විශේෂ සමරු තිළිණද මෙහිදී  පිරිණැමිණි.

1992 වර්ෂයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලයින්ගේ විද්‍යායතනය වෛද්‍ය පරිපාලකයින් 300 කට  අධික පිරිසක්   සාමාජිකත්වය දරනු ලබයි .

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ......

මෙරට ජේෂ්ඨ වෛද්‍ය පරිපාලකයින්ගෙන් සමන්විත මෙම විද්‍යායතනයේ වාර්ෂික සැසිවාරයට සහභාගිවීමට තමන්හට  ආරාධනා කිරීම පිළිබදව ස්තූතිවන්ත වන බවත්, වෛද්‍ය පරිපාලකයන් වන ඔබ සියලු දෙනාගේ මනා පරිපාලනය නිසා මෙරට සෞඛ්‍ය සේවාව විශිෂ්ඨ මට්ටමක පවතින බවත් ඒ සදහා දක්වන දායකත්වයට තම  ප්‍රණාමය පුද කරන බවය.

රජය විසින් මෙරට සෞඛ්‍ය සේවාව වීශිෂ්ඨ, කාර්යක්ෂම අයුරින් පවත්වාගෙන යාම සදහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වසරේදීත් ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කර තිබෙන බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව  පවත්වාගෙන යාමට වෛද්‍ය පරිපාළකයින්  කටයුතු කළ ආකාරයද, කැපවීමද සිහිපත් කළේය.

මෙරට ජනතාවට විධිමත්, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට සියලු දෙනාම එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් අතර කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීම තුළ මෙරට ජනතාවට  ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලැබෙන බවද පැවසීය. 

ශ්‍රී ලංකාව අඩු පිරිවැයකින් ඉතා හොද ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දෙන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දෙන බවත්, වෛද්‍ය පරිපාළකයින්ගේ දක්ෂ පරිපාළනයත්, කැපවීමත් මත එම තත්වයට පත්ව තිබෙන බවද කීවේය.

මෙම සැසිවාරය සදහා  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම්වරුන් වන  විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලයින්ගේ විද්‍යායතනයේ ලේකම් වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය, භාන්ඩාගාරික වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර, යන මහත්ම මහත්මීන්ද , හිටපු සෞඛ්‍ය ලේකම්වරුන්, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, වෛද්‍ය පීඨවල පීඨාධීපතිවරුන්, ජේෂ්ඨ වෛද්‍ය පරිපාලකයින් මෙන්ම  වෛද්‍ය පරිපාලකයින් රැසක්ද  සහභාගි වි සිටියහ.