ගුරු හිඟය පියවීමට සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ගැන සාකච්ඡා

ගුරු හිඟය පියවීමට සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ගැන සාකච්ඡා

ගුරු හිඟය මගහරවා ගැනීමට සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අදාළ සාකච්ඡාවක් ලබාගැනීමට ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් අධ්‍යාපන අමාතයංශයේ ලේකම්වරයා වෙත ලිපියක් ලබාදී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඔබතුමා විසින් ED/EST/20/42 හා 2020.09.30 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරමින් යෝජනා 9ක් ඉදිරිපත් කර ඇත.

01. අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ජාතික පාසල්වල සේවයේ නියුතු 2019 වර්ෂයේ බඳවා ගන්නා ලද වසරක පුහුණු කාලය අවසන් කළ උපාධිධාරී අභ්‍යාසලාභීන් 534 දෙනා පවතින උසස් පෙළ ගුරු පුරප්පාඩු සංඛ්‍යාවට සමානුපාතිකව ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 3 - 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමට.

02. එසේ පත්වීම් ලබා දී තවදුරටත් පුරප්පාඩු පවතී නම් අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශයන් ද, ඒ යටතේ ඇති ආයතනයන් ද, (අර්ධ රාජ්‍ය හැර) ජාතික පාසල්වල ද සේවයෙහි නියුතු සංවර්ධන නිලධාරීන්, සැලසුම්/ මුල්‍ය සහකාර හා සංවර්ධන සහකාර යන තනතුරු සඳහා පත්වීම් ලද නිලධාරීන් උසස් පෙළ ගුරු පුරප්පාඩු සංඛ්‍යාවට සමානුපාතිකව ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 3 - 1 (අ) ශ්‍රේණියට පත්කිරීමට

03. පත්වීම් ලබා දී තවදුරටත් පුරප්පාඩු පවතී නම් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් අ.පො.ස. උසස් පෙළ ගුරු පුරප්පාඩු සංඛ්‍යාවට සමානුපාතිකව උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීමට හා වසර 01ක පුහුණු කාලයකින් අනතුරුව පැවැත්වෙන ප‍්‍රායෝගික පරීක්ෂණයෙන් පසු ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 3 - 1 (අ) ශ්‍රේණියට පත්කිරීමට

04. අ.පො.ස. (උසස් පෙළ) 13 වසරක සහතික කරන ලද අධ්‍යාපනික වැඩසටහන යටතේ උපාධිධාරීන් නොමැති විෂයයන් සඳහා ඩිප්ලෝමාධාරීන්, උසස් පෙළ ගුරු පුරප්පාඩු සංඛ්‍යාවට සමානුපාතිකව ඩිප්ලෝමාධාරීන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීමට.

05. එම බඳවා ගැනීමේ දී අයඳුම්පත් කැඳවා විෂයයන්හි පවතින පුරප්පාඩු සංඛ්‍යාව මත පදනම්ව සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට කැඳවා එයින් සුදුසුකම් ලබන අයඳුම්කරුවන් ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව පවත්වන ප‍්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු අනුපිළිවෙළ මත ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 3 - 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමට

06. ශී‍්‍ර ලංකා ගුරු ව්‍යවස්ථාවෙහි 7.2.2.3 හා 7.2.4.1 වගන්ති හි සඳහන් විධිවිධානවලට පරිබාහිරව ලිඛිත තරග විභාගයකින් තොරව බඳවා ගැනීමටත් උපරිම වයස් සීමාවන 45 දක්වා දීර්ඝ කිරීමත් හැර ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවෙහි පවතින අනෙකුත් සියලූම විධිවිධානවලට අනුකූලව අ.පො.ස. (උසස් පෙළ) විෂයය පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට

07. බඳවා ගැනීම් සිදුකරන අවස්ථාව වන විට පවතින පුරප්පාඩු සංඛ්‍යාව සලකා බැලීමට

08. පවතින ගුරු පුරප්පාඩු අතුරින් පළාත් සභා පාසල් සඳහා බඳවා ගැනීමට නියමිත ගුරුවරුන් එක් එක් පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ එකඟතාවය ඇතිව බඳවා ගැනීමට
09. රජයේ ආයතනවල දැනට පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් මේ වනවිට රුපියල් 20000ක දීමනාවක් ලබාගන්නා අතර, ගුරු සේවයට බඳවා ගැනීමට අපේක්ෂිත සංවර්ධන නිලධාරීන් දැනට එම සේවයේ වැටුප් ලබනු ලැබේ. මෙම නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් වීමෙන් ඇති වන අමතර පිරිවැය පමණක් සලකා පළාත් සභා පාසල් සඳහා බඳවා ගැනීමට නියමිත අභ්‍යාසලාභීන් සඳහා වැටුප් ගෙවීමට අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන රජයේ ඒකාබද්ධ අරමුදලින් ලබා ගැනීමට වශයෙනි.

මෙම යෝජනා සඳහා අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය තුළ 2019 දෙසැම්බර් 31 දින වනවිට ජාතික හා පළාත් පාසල්හි පවතින අ.පො.ස. උසස් පෙළ ගුරු පුරප්පාඩු ලේඛනයක් ඉදිරිපත් කර ඇත.

ඒ යටතේ

ජාතික පාසල් හි 2335 ක්ද, පළාත් පාසල් හි 2098 ක්ද වශයෙන් ගුරු පුරප්පාඩු 4433ක් පවතින බව දන්වා ඇත.

ඔබතුමා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2020 ඔක්තෝබර් 30 දින අනුමැතිය ලැබී ඇත. එමගින් එකී යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, පළාත් ප‍්‍රධාන ලේකම්වරුන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් සහ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබාදී ඇත.

අනුමැතිය ලද කරුණු අතර

01. උපාධිධාරී පුහුණු වැඩසටහන යටතේ බඳවාගෙන දැනට පුහුණුව අවසන් කරනු ලැබ ඇති සහ ඉදිරියේ දී පුහුණුව අවසන් කිරීමට නියමිතව ඇති උපාධිධාරීන් අතුරින් සුදුසුකම් සපුරාලනු ලබන උපාධිධාරීන් කෙටි කාලීන පුහුණුවකින් අනතුරුව ජාතික පාසල් සහ පළාත් පාසල්වල පවතින ගුරු අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ගුරු සේවයට බඳවා ගැනීමට.

02. ඒ සඳහා එක් එක් විෂය ක්ෂේත‍්‍රයන්ට අදාළව ජාතික පාසල් සහ පළාත් පාසල්වල පවතින ගුරු අවශ්‍යතාව අදාළ බලධාරීන් විසින් ප‍්‍රථමයෙන් හඳුනාගත යුතු බව ප‍්‍රධාන කරුණු වේ.

මේ පිළිබඳ සාකච්ඡා කොට සුදුසු වැඩපිළිවෙළක් අමාත්‍ය මණ්ඩලය වෙත් යෝජනා කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

මෙම යෝජනා සහ ඉල්ලීම්වලට අදාළව මේ වනවිට මාස 7ක් පමණ ගතව ඇති අතර දන්නා පරිදි වැඩපිළිවෙළක් ඉදිරිපත්ව නැත. අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 2019.012.31 දිනට පැවති ගුරු පුරප්පාඩු මේ වනවිට වැඩි වී ඇති අතර ඒවා පිරවීමට අදාළ විකල්ප වැඩපිළිවෙළක් සැකසීද නොමැත. මේ අතර බස්නාහිර හා දකුණු පළාත්වල පළාත් පාසල් ගුරු පුරප්පාඩු ස`දහා බ`දවා ගැනීමට අදාළව අයඳුම්පත් ද කැඳවා ඇත.

මීට අමතරව 2020/21 වසරවල බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධරීන් බඳවා ගැනීමට අදාළ PS/CM/OMC/15/2020 හා 2020 පෙබරවාරි මස 5 දිනැතිව ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට එදිනම අනුමැතිව හිමිව තිබිණි.

එම අමාත්‍ය මණ්ඩල සංදේශය තුළ වූ එක් කරුණක් අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ ය. එහි ‘‘අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රශස්ත පහසුකම් සහ ගුරු අතිරික්තයක් සහිත පාසල් කිහිපයක් පැවතිය ද ග‍්‍රාමීය සහ වතු පාසල්වල ගුරු හිඟයක් පවතී. දරුවන් තුළ තීරණ ගැනීමේ සහ නායකත්වය දැරීමේ හැකියාවන් හා කුසලතාවයන් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමය හේතුවෙන් ගිලිහෙමින් පවතී. රටේ සෑම ක්ෂේත‍්‍රයකම සමස්තයක් ලෙස ගත් කල නායකත්වය දැරීම, තීරණ ගැනීම පසුගාමී තත්වයක පවතින බව නිරීක්ෂණය වේ. එබැවින් අනාගත පරපුරේ සුබසෙත උදෙසා පාසල් විෂය මාලාවට නායකත්වය විෂය අන්තර්ගත කිරීමටත් උපාධිධාරීන්ගෙන් වැඩි පිරිසකට නායකත්ව පුහුණුවක් ලබා දී ගුරුවරුන් වශයෙන් බඳවා ගැනීමට නොපමාව කි‍්‍රයා කිරීම ජාතික මෙන්ම කාලීන අවශ්‍යතාවයක් බව නිරීක්ෂණය වී ඇත. එය ශී‍්‍ර ලංකීය ආර්ථික හා සමාජ ප‍්‍රගමනයට දීර්ඝ කාලීන ප‍්‍රතිලාභ අත්කරදීමට හේතුවනු ඇත.’’ යනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එම යෝජනාවට අදාළවම සෑම පාසලකම නායකත්ව විෂය 6 සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම හා එම විෂය ඉගැන්වීම යන කරුණට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත. ඒ අනුව මේ වනවිට 2019.12.31 දිනට අදාළ දින සහිතව අභ්‍යාසලාභීන් ලෙස උපාධිධාරීන් හා ඩිප්ලෝධාරීන් 52500කට ආසන්න ප‍්‍රමාණයක් බඳවාගෙන ද ඇත.

මේ වනවිට එසේ බඳවාගත් අභ්‍යාසලාභීන් කිසිදු වැඩපිළිවෙළක් නොමැතිව අමත්‍යාංශ, දෙපාර්තමේන්තු තුළ විවිධ කාර්යයන් කරමින් සිටින බව දන්නා කරුණකි. විශේෂයෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පාසල් වෙත අනුයුක්ත කළ අභ්‍යාසලාභීන් පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. ඔවුටද නිශ්චිත වැඩපිළිවෙළක් නැත. අමාත්‍ය මණ්ඩල සංදේශය තුළ වූ හරබර වචන පුස්සක් බවට පත්වෙමින් ඇත.

මෙම කරුණු පිළිබඳ අප සංගමයේ අදහස් මීට වඩා සවිස්තරව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඊට අදාළ සාකච්ඡාවක් කඩිනමින් ලබාදෙන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.