පනතක් ගෙනත් හෝ රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබා දෙන්න - වෘත්තීය සමිති කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලයි

nimal-siripala-de-silva

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදීමට අයවැය සහන දීමනා පණතක් ගෙන එන ලෙස ප්‍රධාන වෘත්තීය සමිති නායකයෝ කම්කරු අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටිති.

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  මෙරට ප්‍රධාන  වෘත්තීය සමිති නායකයන්  සාකච්ඡාවකට කැඳවා තිබුණි.කම්කරු අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් අද පැවති  මෙම සාකච්ඡාවේ දි  වෘත්තීය සමිති නායකයෝ මෙම ඉල්ලීම ඉදිරිපත් කළහ.

මෙහිදී  අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා,මෙම රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට කම්කරු අමාත්‍යවරයා කඩිනම් පියවර ගැනීම පිළිබඳ ස්තූතිය පුද කළේය.නමුත් මෙම දීමනාව පිළිබඳ ක්‍රියාත්මක වීමේ දි  පවතින ත්‍රෛපාර්ශවීය සුහදතාවය රැක ගැනීමට ද අවධානය යොමු කළ යුතු බවද.මෙම දීමනාව දීමට හාම්පුතුන් එකඟ නොවන්නේ නම් පණතක් ගෙන හෝ ගෙනවිත් මෙම දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය.

මෙම මෙහි ගෝලීය අර්බුදය හමුවේ අපි ඉතාම සද්භාවයෙන් යුතුව කෝවිඩ් සමයේ කටයුතු කළ ද හාම්පුතුන් එසේ සද්භාවයෙන් කටයුතු නොකර වැඩකරන ජනතාවට පිටිපස්සෙන් පිහියෙන් ඇන්න බව ඇන්ටන් මාකස් මහතා මෙහිදී චෝදනා කළේය.වගකිවයුතු පුද්ගලික අංශයක් ලෙස මේ රටේ ආර්ථිකය ජයග්‍රහණය කර ගැනීමට නම් ඇමතිතුමා ගෙන එන රුපියල් 5000  දීමනාව  ලබාදීමේ මෙම යෝජනාවට අනිවාර්යෙන්ම ඔවුන් සිය සහයෝගය ලබා දිය යුතු බවත්,විරුද්ධ නොවිය යුතු බවත් ඇන්ටන් මාකස්  මහතා අවධාරණය කළේය.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ එස්.පී.විජයකුමාර් මහතා  ප්‍රකාශ කළේ,මෙම රුපියල් පන්දහසේ දීමනාව වතු කම්කරු ජනතාවට ද ඔවුන්ගේ දෛනික වැටුපට එකතු කර ලබා දෙන ලෙසය.ජාතික සේවක සංගමයේ සුරංග නාවුලගේ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ,පොදුවේ මේ රටේ සමස්ත ජනතාවම බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී රජයේ සේවකයන්ට පමණක් මෙම දීමනාව ලබාදීම අසාධාරණ නිසා පෞද්ගලික අංශයේ සියලු දෙනාට ද එය ලබාදීමට කම්කරු  අමාත්‍යවරයාට මැදිහත් වන ලෙසය.

මෙහි දී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ,වෘත්තීය සමිති නායකයන් ඉදිරිපත් කළ යෝජනා තමන් ඉදිරියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත්  කරන බවය.මේ රටේ වැඩකරන පන්තියේ බහුතර ජනතාවක් සිටින පෞද්ගලික අංශයට මෙම පන්දාහේ දීමනාව ලබා දිය යුතු බව තමාගේ පෞද්ගලික මතය බව ද  අමාත්‍යවරයා මෙහි දී පැවසීය.මේ පිළිබඳව තමන් ලබන සතියේ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් සමග සහ වතු සමාගම් ප්‍රධානින්  සමඟ සමඟ ද සාකච්ඡා කරන බවත් එම සියලූ අදහස් අමාත්‍ය  මණ්ඩලයට ඉදිරිපත් කර ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

මෙම වෘත්තීය සමිති නියෝජිත රැස්වීමට ලීනස් ජයතිලක,පාලිත අතුකෝරල ,එස්.පි.නාදන්,එස්. රාජමනි,යන අය ද කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ,කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන අයද මෙම සාකච්ඡාවට එක් වූහ.

tu leaders 5000