'වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කළ 55 වැනි රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්වෙයි
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක190 දරන වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කිරීමේ ලේඛනය ශ්‍ර්‍රි ලංකාව විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය වෙත නිල වශයෙන් පසුගිය 16 වැනිදා භාර දී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සුමිත් දිසානායක මහතා විසින් එය භාර දෙනු ලැබුවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මහ ලේකම් ගිල්බර්ට් එෆ්. හුන්ග්බෝ (Gilbert F. Houngbo) මහතා වෙතයි.
එහිදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මහ ලේකම්වරයා සඳහන් කළේ මෙම සම්මුතිය අනුමත කිරීමත් සමග ශ්‍රී ලංකාව කම්කරු ප්‍රජාවගේ ගෞරවය, සමානාත්මතාවය සහ ගරුත්වය තවදුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය කැපවීම යළි යළිත් තහවුරු කරන බවයි.
එමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් මෙම සුවිශේෂ පියවර අතිශය වැදගත් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
අනුමත කළ සම්මුතීන්ට අනුව නීති හා ආයතනික රාමු සකස් කර ගැනීමට ශ්‍රී ලංකා රජය ඇතුළු පාර්ශවයන්ට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ සහාය ලබා දීමට සූදානම් බවද එහි මහ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සුමිත් දිසානායක මහතා පෙන්වා දුන්නේ මෙම සම්මුතිය අනුමත කිරීම මගින් සෑම පුද්ගලයෙකුටම කිසිදු හිංසනයකින් තොරව වැඩ පරිසරයක ජීවත්වීමට ඇති අයිතියට ගරු කිරීමට, ප්‍රවර්ධනය කිරීමට සහ යථාර්ථයක් කර ගැනීම සඳහා වත්මන් රජයේ කැපවීම පෙන්නුම් කරන බවයි.
මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා දේශීයව අවශ්‍ය නීතිමය විධිවිධාන හඳුන්වාදීමට, දැනට පවතින කම්කරු නීති සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක190 දරන වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කිරීමේ ලේඛනය පසුගිය ජනවාරි 08 වැනිදා කොළඹ දී චාරිත්‍රානුකූලව සහ උත්සවාකාරයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත ජොනී සිම්සන් ( Joni Simpson) මෙනෙවිය වෙත භාර දෙනු ලැබුවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසිනි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 190 දරන සම්මුතිය යනු වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය වැළැක්වීම සහ එයට මුහුණදීම සඳහා පැහැදිලි හා සංවිධිත පදනමක් සපයන පළමු ජාත්‍යන්තර නීත්‍යානුකූල ලේඛනයයි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටු දැකීමද මෙම සම්මුතියට ඇතුළත් වීම විශේෂත්වයකි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 190 දරන සම්මුතිය අත්සන් තැබූ ලෝකයේ 55 වැනි සාමාජික රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්වන අතර දකුණු ආසියාවේ දෙවැනි රාජ්‍යයි.

