මේ වන විට ශ්‍රී ලංකාවේ ජීවත් වන බහුතරයක් බලාපොරොත්තු වන්නේ විදේශගත වී රැකියාවක් සොයා ගැනීමට ය. මීට පෙර අප විසින් මේ සම්බන්ධයෙන් ලිපියක් පළ කළ අතර විදේශගත වීමේ බලාපොරොත්තුව හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර සාදා ගැනීමට ගොස් ජාවාරම්කරුවන්ට හසුවන අය සහ විදේශ රැකියා ලබා දෙන මුවාවෙන් මුදල් ලබාගෙන වංචා කිරීම පිළිබඳව ද අපි එහිදී සාකච්ඡා කළෙමු.
මීට අමතරව එලෙස විදේශගත වන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද සැලකිලිමත් විය යුතු අතර එලෙස විදෙස් රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන් විවිධ අවස්ථාවල මිය ගිය බවද ඕනෑ තරම් වාර්තා වී තිබේ. විශේෂයෙන් ම මැදපෙරදිග රටවල දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සහ ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කළ අය ද දකුණු කොරියාවේ කර්මාන්තශාලාවල සේවය කළ ශ්‍රමිකයෝද බොහෝ විට මෙවැනි අනතුරුවලට ලක් වෙති. මෙම රටවල සේවය කරන බහුතරයක් සේවය කරන්නේ අවම ආරක්ෂාවක් යටතේ ය. දකුණු කොරියාවේ බොහෝ විට වාර්තා වන්නේ කර්මාන්තශාලාවල යන්ත්‍රවලට හසුවී සිය අත් පා අහිමි වූ අවස්ථාවන් ය. මැදපෙරදිග සේවය කරන අයද එලෙස මරණයට පත්වූ අවස්ථා කිහිපයක්ම පසුගිය වසර තුළ -පමණක් වාර්තා විය.
ශ්‍රී ලංකාවේ මෙන් ම දකුණු ආසියානු රටවල් වන ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය වැනි රටවල සංක්‍රමණික ශ්‍රමිකයන් විශාල වශයෙන් රැකියා සඳහා යොමු වන්නේ මැදපෙරදිගට ය. කටාර් රාජ්‍ය එලෙස සංක්‍රමණික ශ්‍රමිකයන් විශාල පිරිසක් රැකියාවල නිරත වී සිටින රටකි. මෙවර ලෝක පාපන්දු කුසලානය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ද කටාර් රාජ්‍යයේ ය. එළැඹෙන නොවැම්බර් 20 වන දින එම පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය කටාර් රාජ්‍යයේ දී ආරම්භ කිරීමට නියමිත අතර මේ වන විට කටාර් රාජ්‍යය ඒ සඳහා අලුතෙන් ම නගරයක් ඉදිකර ඇති අතර ඒ තුළ පාපන්දු ක්‍රීඩාංගණ හතක් ඉදිකර තිබේ. මෙම ඉදිකිරීම් සඳහා කටාර් රාජ්‍යය දරා ඇති මුළු වියදම ඇමරිකානු ඩොලර් බිලියන 220කි.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ‘හියුමන් රයිට්ස් වොච්’ ආයතනය මෙලෙස වසර දහයක් තිස්සේ සිදු කළ ලෝක කුසලානය සඳහා වන ඉදිකිරීම්වලට අදාළ ව්‍යාපෘතිය මගින් ඉතා විශාල වශයෙන් මානව හිමිකම් කඩ වී ඇති බවට වාර්තාවක් නිකුත් කර තිබේ.
මෙම වසරේ අගෝස්තු මාසයේ 23 වන දින නිකුත් කර ඇති මෙම වාර්තාවේ දැක්වෙන්නේ ලෝක කුසලාන ව්‍යාපෘතිය උද්වේගකර හා ලාභදායී ව්‍යාපෘතියක් වී ඇති අතර ම එය ශ්‍රමිකයන්ට මාරාන්තික ව්‍යාපෘතියක් වී ඇති බවයි. එම වාර්තාවේ පෙන්වා දෙන්නේ මුදල් පිරිවැය ඩොලර් බිලියන 220ක් වුවත් මිනිස් පිරිවැය ඊට වඩා විශාල අගයක් ගන්නා බවයි. ක්‍රීඩා පිට්ටනි, ආපනශාලා ආදි සියලු පහසුකම් සපිරි නගරයක් නිර්මාණය කිරීමේ දී දුප්පත්ම රටවලින් කටාර් වෙත සංක්‍රමණය වී අධික තාපය සහ අවම ආරක්ෂක පහසුකම් නිසා අතිවිශාල කම්කරුවන් ගණනක් සිය ජීවිතවලින් වන්දි ගෙවා ඇති බවයි.
මෙම සංඛ්‍යාව ඉතා විශාල අගයකි. මෙම ව්‍යාපෘතියට අදාලව නිවැරදිවම මෙතෙක් මිය ගිය ගණන පිළිබඳව දත්ත ලබා ගැනීමට නොහැකි වුවද 2010 සිට 2019 දක්වා මිය ගිය කටාර් පුරවැසියන් නොවන සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 15,021ක් බව හියුමන් රයිට්ස් වොච් ආයතයනය පෙන්වා දෙයි. ද ගාඩියන් පුවත්පත විසින් ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් පහ සඳහා කටාර්හි තානාපති කාර්යාල සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති අතර 2010 වසරේදී කටාර් රාජ්‍යයට මෙවර පාපන්දු කුසලානයේ සත්කාරකත්වය ප්‍රදානය කිරීමෙන් පසු කටාර්හි මියගිය සංක්‍රමණික සේවකයන් ගණන 6,750ක් වත් බවට තහවුරු කිරීමට හැකි වී තිබේ.
පිලිපීනය සහ කෙන්යාව ඇතුළු කටාර් වෙත විශාල ශ්‍රමිකයන් යවන රටවල් ගණනාවක මරණ මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවන බැවින් මුළු මරණ සංඛ්‍යාව සැලකිය යුතු බව ද ගාඩියන් පුවත්පත පෙන්වා දෙයි. 2020 අවසාන මාසවල සිදු වූ මරණ ද මේ දක්වා මරණද ඇතුළත් නොවේ. මෙලෙස තානාපති කාර්යාලවලින් ලබා ගත් දත්තවලට අනුව දකුණු ආසියානු රටවල ශ්‍රමිකයන්ගෙන් වැඩි පිරිසක් මියගොස් තිබෙන්නේ ඉන්දියානු ජාතිකයන්ය. ඉන්දියානු ජාතිකයන් 2771ක් මියගොස් තිබෙන අතර නේපාල ජාතිකයන් 1641ක් මිය ගොස් තිබේ. බංගලදේශ ශ්‍රමිකයන් 1018ක්, පකිස්තාන ශ්‍රමිකයන් 824ක් හා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් 557ක් 2010 සිට 2020 දක්වා මියගොස් තිබෙන බවට තානාපති කාර්යාල උපුටා දක්වමින් ගාඩියන් පුවත්පත පෙන්වා දෙයි.
එලෙස බහුතරයක් ශ්‍රමිකයන් මිය ගොස් තිබෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඉහළ සිට ඇදවැටීමෙන් ය. කටාර්හි පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන සංකූලතා නිසා මෙලෙස කම්කරුවන් ඇද වැටීම සිදු වී තිබේ. ශ්‍රී ලාංකික කම්කරුවන් බහුතරයක් මිය ගොස් තිබෙන්නේ මෙවැනි අනතුරුවලින් සහ අධික උෂ්ණත්වය දරාගැනීමට අපහසුවීමෙන් ය. ඇතැම් කම්කරුවන් එවැනි අධික තෙහෙට්ටුව හේතුවෙන් ඇති වූ අධික රුධිර පීඩනය හා හෘදයාබාධ හේතුවෙන් ය. කෙසේවෙතත් එලෙස රෝග තත්වයන් යටතේ මිය ගිය ශ්‍රමිකයන්ගේ මරණ ස්වාභාවික මරණ සේ සලකා වන්දි නොගෙවා සිටින බව වාර්තා වෙයි. හියුමන් රයිට්ස් වොච් ආයතනය පෙන්වා දෙන්නේ එලෙස මරණයට පත් වූ ඇතැම් කම්කරුවන්ගේ මරණ ස්වාභාවික මරණ සේ සලකා එම ඉදිකිරීම් සමාගම් විසින් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඉන්දියාව, නේපාලය, ලංකාව වැනි රටවල මෙන් ම කෙන්යාවේ ශ්‍රමිකයන්ට මෙම තත්වයට මුහුණ දීමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
මෙම වසරේ මුල දී පාපන්දු ලෝක කුසලානය පැවැත්වීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝගෙන් මාධ්‍යවේදීන් විමසුවේ එලෙස මිය ගිය කම්කරුවන්ට යම් වන්දියක් ලබා දීමට පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වන්නේද යනුවෙනි. එහිදී ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ”ඔබට යම් රැකියාවකට පැමිණෙන විට යම් දුෂ්කර තත්වයන්වලට මුහුණ දෙන්න සිදුවී තිබුණත් එය ඔබට ගෞරවයක් ලබා දී ඇත” යනුවෙනි.
කෙසේ වෙතත් ජර්මානු පාපන්දු කණ්ඩායම මෙම මානව හිමිකම් කඩකිරීමට විරෝධය පළ කරමින් සිය ඇඳුම්වල හියුමන් රයිට්ස් ලෙස සඳහන් කරමින් සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කරන ලදි.
2014 දී කටාර් රජයේ ම නීතිඥයන් විසින් වාර්තාවකින් ඉදිරිපත් කළේ හෘදයාබාධ හේතුවෙන් මරණයට පත්වන සංක්‍රමණික සේවකයින්ගේ මරණ පිළිබඳව අධ්‍යයනයක් කරන ලෙසත්, ”සියලුම අනපේක්ෂිත හෝ හදිසි මරණයකදී මරණ පරීක්ෂණ සඳහා අවසර දෙන ලෙස” නීතිය සංශෝධනය කරන ලෙසත් නිර්දේශ කරමින් ය. නමුත් මේ කිසිවක් කටාර් රජය විසින් මෙතෙක් සිදු කර නැත.
අධික උෂ්ණත්වය හේතුවෙන් මරණයට පත්වූ අවස්ථා පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන පෝලිම්වල දීද වාර්තා වූ අතර අධික උෂ්ණත්වය සහ විජලනය හේතුවෙන් හෘදයාබාධ සහ අධික රුධිර පීඩනය උත්සන්න වී කිහිපදෙනෙක්ම ඉන්ධන පෝලිම්වල මිය ගියෝ ය. ලංකාවටත් වඩා වැඩි උෂ්ණත්වයක් එනම් සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයක් පවතින රටක මහන්සි වී වැඩකරන අයෙකුට එසේ මිය යාමට ඇති අවදානම ඉතා ඉහළ ය.
මෙම ව්‍යාපෘති තවමත් ක්‍රියාත්මක වන අතර ඒවායේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ දහස් ගණනක් සේවය කරති. සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ පසුගිය මාස 8 තුළ පමණක් කටාර් වෙත ගිය ශ්‍රමිකයන් සංඛ්‍යාව 51,746ක් බවයි. මෙම සංඛ්‍යාවෙන් ඉතා විශාල සංඛ්‍යාවක් යොමුවන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයටයි. මුළු ගණනින් ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් ගොස් තිබෙන්නේ 3500කට ආසන ප්‍රමාණයක්ය.
ලෝක කුසලාන ව්‍යාපෘතිය මෙන් ම තවත් ව්‍යාපෘති ගණනාවකම අනාරක්ෂිතව සේවය කිරීමට එම කම්කරුවන්ට සිදුවනු ඇත. ඇතැම් ව්‍යාපෘතිවලට අදාලව නවාතැන් පහසුකම් පවා ආරක්ෂිත නොවන අතර ලෝක කුසලාන ව්‍යාපෘතියේ දී බංගලාදේශ කම්කරුවන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙන්නේ ඔවුන්ගේ නවාතැන්වල වර්ෂා කාලයේ දී අනාරක්ෂිත්ව තිබූ විදුලි රැහන්වලින් විදුලිය වැදීම හේතුවෙන් ය. එලෙස මරණයට පත් වූ එක් බංගලාදේශ කම්කරුවෙකු ඔහුගේ රැකියාව ලබා ගැනීම සඳහා යූරෝ 3500කට අධික මුදලක් වැය කර ඇති අතර ඔහු සේවයට පැමිණ වසරක් ගතවීමටත් පෙර ඔහු මරණයට පත් වී ඇත. ඉදිකිරීම් සමාගම ඔහුට වන්දිද නොගෙවා ඇති අතර ඔහු රැකියාව සඳහා වියදම් කළ මුදලවත් ඔහුට උපයා ගැනීමට නොහැකි වී ඇත.
ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් වර්තමාන ආර්ථික අර්බුදය යටතේ ඕනෑම විදේශ රැකියාවකට යාමට සූදානමින් සිටින ආකාරයක් නිරීක්ෂණය කළ හැකි ය. ඇතැම් පුද්ගලයන් විදේශගත වන්නේ රැකියාවක් සොයාගෙන නොව එහි ගොස් රැකියාවක් සොයා ගැනීමේ අරමුණින් ය. එවැනි තත්වයන් නිසා බොහෝ විට මෙවැනි අනාරක්ෂිත තත්වයන්වලට අදාල රැකියාවල නිරත වීමට ඔවුන්ට සිදුවන අතර එවැනි හදිසි අවස්ථාවක දී තමාට හිමිවන සේවක අයිතිවාසිකම් පිළිබඳවද අවධානය යොමු කර විදේශ ගත වීම ඉතා වැදගත් ය. නැතිනම් සිදුවන්නේ තවම ජීවිතය පවා කැප කර සේවය කරද්දී අඩුම වශයෙන් හිමිවිය යුතු වන්දි මුදලවත් නොලැබී යාමයි.
අමන්දිකා කුරේ (අනිද්දා)