වතු සේවකයින්ගේ දෛනික වැටුප රු.900යි - 100ක දීමනාවක් එකතු කරයි!

වතු සේවකයින්ගේ දෛනික වැටුප රු.900යි - 100ක දීමනාවක් එකතු කරයි!
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 900 දක්වා වැඩි කිරීමට සහ රුපියල් 100ක දෛනික දීමනාවක් ද ලබාදීමට වැටුප් මණ්ඩලය අනුමත කර තිබේ.
 
මේ අතර වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කරමින් සතියක් තුළ ගැසට් නිවේදනය නිකුත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
 
ඒ පඩිපාලක මණ්ඩලය කම්කරු දෙපාර්තුමේන්තුවේදී අද රැස්වූ අවස්ථාවේ එළඹි තීරණයෙන් අනතුරුවය.
 
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණි.
 
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට 12 කට ආසන්න සංඛ්‍යාවක් පැවතියත් වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ පාර්ශ්වලට අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුණි.
 
මෙම තත්ත්වය තුළ විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ගැටලුව පඩිපාලක සභාව වෙත යොමුකළ අතර එම සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී අද රැස්වුණි.
 
පඩිපාලක සභාව  වතු හාම්පුතුන්ගේ නියෝජිතයින් 8ක්, වෘත්තීය සංගම් නියෝජිතයින් 8ක් සහ අමාත්‍යවරයා විසින් පත්කළ නියෝජිතයින් තිදෙනෙකුගෙන් සමන්විතය. 
 
ඒහෙත් වතු වෘත්තීය සමිති මෙන්ම 1000 ව්‍යාපාරය ද, වෙනත් සිවිල් සංවිධානද දිගින් දිගටම ඉල්ලා සිටියේ දෛනික වැටුප රු.1000ක් කරන ලෙස නොව "දෛනික මූලික වැටුප" රුපියල් දහසක් කරන ලෙසය.