නිදහස් වැඩ ලෝකයකට C190 සම්මුතිය

නිදහස් වැඩ ලෝකයකට C190 සම්මුතිය

2019 ජූනි මස 21 වන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කර ගැනීමට යෙදුණු ”වැඩ කරන ලෝකයේ හිංසනය සහ හිරිහැර අවසන් කිරීම” සඳහා වූ නව සම්මුතිය හෙවත් C 190 සම්මුතිය මගින් නිදහස් වැඩ ලෝකයක් සඳහා සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය තවදුරටත් තහවුරු කිරීම සිදුවිය. මෙම සම්මුතිය වඩාත් වැදගත් වන්නේ කම්කරුවන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම උදෙසා වගන්ති 12ක් තුළින් ප‍්‍රතිපාදන සපයා තිබෙන ලෝකයේ හිංසනය සහ හිරිහැර කිරීම වැළැක්වීම අරමුණු කොට ගත් පළමු ජාත්‍යන්තර ප‍්‍රමිතිය මෙය වන නිසාවෙනි. C 190 සම්මුතිය තුළින් වැඩ ලෝකය තුළ සෑම පුද්ගලයකුටම ප‍්‍රචණ්ඩත්වයෙන් සහ හිරිහැර වලින් තොර වීම සඳහා අයිතියක් ඇති බව පිළිගනී.

එමෙන්ම රැකියා ලෝකයේ හිංසන සහ හිරිහැර කිරීම සම්බන්ධව පුළුල් අර්ථ දැක්වීමක් සිදු කරනු ලබන නිසාත් වැඩිමනත් වශයෙන් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් ව ප‍්‍රචණ්ඩත්වයෙන් සහ හිරිහැර වලින් නිදහස් වීමට රැකියා ලෝකයේ සෑම අයෙකුටම ඇති අයිතිය මෙමගින් පිළිගනු ලබන නිසාත් එම නිර්ණායකයන් ශ‍්‍රී ලංකාව හඳුන්වා දී ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුල් වන්නේ නම් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ලංකාවේ නීතියේ හිඩැස් එමඟින් පුරවාලනු ඇතැයි බලාපොරොත්තුවක් තබා ගත හැකිය. රැකියා ලෝකය තුළදී හිංසනයන් සිදුවිය හැකි සීමාව මෙය යැයි නිශ්චිතව දැක්වීම නොහැකිය. එය රැකියාවට ගමන් කරන අතරතුර හෝ රැකියාව නිමකර ආපසු එන අතරතුර සිදුවිය හැකිය, එසේම රැකියා ස්ථානය තුළ මෙන්ම රැකියා ස්ථානයෙන් ඔබ්බට නේවාසිකාගාර තුළදීද නිවසේදීද විය හැකිය. තවදුරටත් එවැනි හිංසන නූතන තාක්ෂණ දියුණුව සමග සන්නිවේදන මාධ්‍යයන් හා සමාජ ජාල අඩවි තුළ දී සිදුවිය හැකිය.

14 එසේම රැකියා ස්ථානයේ විවේක කාලය තුළදී වුවද, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා ලබා ගැනීමේදීත් සමාජය තුළ පවත්වනු ලබන රැස්වීම් තුළදීත් සිදුවිය හැකිය. සැබැවින්ම විශාල පරාසයක් තුළ විහිදී යන මෙම හිංසනයන් එයට ගොදුරු වූ තැනැත්තන්ගේ කායික හා මානසික සෞඛ්‍යය දැඩි ලෙස පිරිහීමට හේතුවක් වන්නේය. විශේෂයෙන්ම COVID - 19 වසංගත තත්ත්වයත් සමඟ මේ වන විට බොහෝ අයගේ වැඩ පරිසරයේ විශාල වෙනසක් සිදු වී තිබේ. සමහරුන් නිවසේ සිට රාජකාරී කටයුතු සිදු කරනු ලබන අතර තවත් පිරිසකට වසංගත තත්ත්වයක් තුළ වුවද සේවා සැපයීම සාමාන්‍ය පරිදිම සිදු කිරීමට සිදුව තිබේ. මෙවන් තත්වයක් තුළ ඇතැමුන්ට නිවෙස තම රැකියා ස්ථානය බවට පත්ව ඇති බැවින් ක්‍ 190 වැනි සම්මුතීන් වල වැදගත්කම තව දුරටත් ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ක්‍ 190 සම්මුතිය හඳුන්වා දී තිබෙන්නේම ලෝකයේ තවදුරටත් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් වෙනස්කොට සැලකීම් තුරන් වී නොමැති නිසාවෙනි. මෑත දිනකදී මාධ්‍ය සමාජ ජාලා තුළින් ප‍්‍රචාරය වූ එක්තරා ආයතනයක ප‍්‍රධානියා විසින් එහිම සේවිකාවකට පහරදීම, වෛද්‍යවරයෙක් විසින් තමා සම`ග සේවය කරන වෛද්‍යවරියකට එරෙහිව සිදු කරන වාචික සහ මානසික හිංසනය වැනි සිදුවීම් අධ්‍යයනය කිරීමේදි C 190 සම්මුතියේ වැදගත්කම තවත් ඉස්මතු කර පෙන්වයි. මේවා ප‍්‍රසිද්ධියට පත්වන සිදුවීම් පමණක් වන අතර කර්මාන්තශාලා වල, මෑන්පවර් ආයතන වල මෙන්ම ගෘහසේවයේ නියැලෙන්නන් හට, පිරිසිදුකිරීම් සිදු කරන්නන් හට, ලිංගික ශ‍්‍රමිකාවන් හට මෙවැනි හිංසනයන්ට බොහෝ විට මුහුණ දීමට සිදු වුවද ඔවුන් විසින් ඒවා දරා ගනිමින් තම රැකියාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ලබයි. මෙවැනි තත්ත්වයක් යටතේ ක්‍ 190 වැනි සම්මුතියක් ලංකාව තුළ සම්මත කර ගැනීම කෙරෙහි ලංකාවේ කම්කරු සංවිධානවල, වෘත්තීය සමිති වල මෙන්ම මානව හිමිකම් සංවිධාන වලද, මානව හිමිකම් කොමිෂන් සභාවේද අවධානය යොමු විය යුතුව තිබේ.

සීඩෝ සම්මුතිය තුළ ඇතුළත් වන්නා වූ ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අපරානුමත කරමින් ශ‍්‍රී ලංකාව විසින් 1993 දී කාන්තා ප‍්‍රඥප්තිය අනුමත කරනු ලැබුවේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් සිදුවන සියලූ ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම සහ ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව ලඟාකර ගැනීම අරමුණු කර ගනිමිනි. නමුත් එය ලංකාවේ නීතියට ඇතුළත් කර නොගත් හුදු ලියවිල්ලක් පමණක් වන නිසා අදාළ අයිතිවාසිකම් කඩ වීමකදී නෛතික ක‍්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වී තිබේ.

එනිසා C 190 වැනි සම්මුතීන් වල වැදගත් කම හඳුනාගනිමින්, මේවාට අත්සන් කිරීමෙන් පමණක් නොනැවත ලංකාවේ නීතියට ඇතුළත් කර ගනිමින් නෛතික බලාත්මකභාවයක් ලබා දෙමින් පුරවැසි අයිතීන් තවදුරටත් සුරක්ෂිත කිරීම සිදුවිය යුතුව තිබෙන්නකි. C190 සම්මුතියෙන් නීතියක් ලෙස බලාත්මක කිරීම තුළින් වැඩපොළ තුළ සිදුවන හිංසනයන් හා ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව නීතිය ක‍්‍රියාත්මක කිරීමටත් ඒ සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා යාන්ත‍්‍රණයක් සකස් කිරීමටත්, වින්දිතයින් හා තොරතුරු සපයන්නන් පළිගැනීම් වලින් ආරක්ෂා කිරීමටත් අදාළ පියවරයන් අනුගමනය කිරීමට රජය බැඳී සිටී සිටි. එබැවින් මෙම සම්මුතිය ලංකාව තුළ අනුගමනය කිරීම ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයෙන් වෙනස් කමකට ළක් නොවන වඩාත් යහපත් හා නිදහස් වැඩ ලෝකයක් බිහිවීමට මූලික අඩිතාලමක් සැපයීමට හේතුවක් වනු ඇත.

චතුරංග ඞී. හතුරුසිංහ