අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී විෂයක් ලෙස කම්කරු නීති අතුලත් කරන්න - CMU ඉල්ලීමක් කරයි

education-reform-labour-reform

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට කම්කරු නීති හා සම්බන්ධතා විෂයක් ලෙස ඇතුල් කිරීම සඳහා ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

අප රටෙහි පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කොට යහපත් පුරවැසියන් බිහි කිරීමටත් සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමයන් සහ අදාළ විෂයන් සංශෝධනය කිරීමටත් ඔබ දරණ උත්සාහය අගය කරමු.

කටපාඩම් කිරීම, මතකයේ තබා ගැනීම සහ මතක ශක්තිය පරීක්ෂා කර බැලීම සඳහා විභාග පැවැත්වීම හරහා යහපත් සහ වටිනාකමින් යුත් පුරවැසියන් බිහිකළ හැකිද යන්න හා එයට විකල්පයක් ලෙස පර්යේෂණ සහ විශ්ලේෂණ හරහා නිර්මාණශීලීත්වය සහ සොයාගැනීම් කිරීමේ හැකියාව වර්ධනය කළහැකි අන්දමින් අධ්‍යාපන ක්‍රමය වෙනස් වියයුතු බවට කරන යෝජනා පිළිබඳ කරුණ කාලාන්තරයක් මුළුල්ලේම නොයෙකුත් කොටස් අතර සාකච්ඡා වෙමින් පවතින බව ඔබද දන්නා කරුණකි. අධ්‍යාපන ඉගෙනුම් ක්‍රමය ඩිජිටල්කරණය කිරීම හරහා කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වර්ධනය කරගත හැකි බවද දිගින් දිගටම සාකච්ඡා වෙමින් පවතී. විෂයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව සාර්ථක ඉගෙනුම් ක්‍රම ගැනද සලකා බැලීමට කාලය එලඹ ඇත.

කෙසේවෙතත්, ලිබරල් ආර්ථික ක්‍රමය හරහා ජාතික සංවර්ධනය ගොඩනැගීමට සහ ඒ හරහා සුනිසි ජීවන තත්ත්වයක් රටවැසියන්ට ලබා දීමට පසුගිය කාලය පුරාම දැරූ උත්සාහයන් පරාජය වී ඇති බවද ඔබ දන්නා කරුණක් වන අතර, දකුණු ආසියාවෙහි රටවල් කිහිපයක්ම දැන් අනුගමනය කරන මිශ්‍ර ආර්ථික ක්‍රමයට ප්‍රවේශ වීමේ අවශ්‍යතාවය අපටද මතුව ඇති මෙම තත්ත්වය තුළ, එය ළඟා කරගැනීමට නම් රට තුළ මානව සහ අනෙකුත් භෞතික සම්පත් නිසි අයුරින් හඳුනාගෙන, පෙළගස්වමින් ඒවායේ උපරිම ප්‍රථිඵල ජනතාව අතර සාධාරණ ලෙස බෙදීයාම සඳහා පියවර ගැනීම අත්‍යවශ්‍ය වී ඇත.

මේ සඳහා එයට ගැළපෙන ආකාරයෙන් අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම නොකරම බැරි බව පිළිගත යුතුය.

මෙහි තවත් පැත්තක් වී ඇත්තේ, වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය හරහා නිර්මාණය වන තරුණයින් සහ පුරවැසියන්ගේ දැනුවත්භාවය සීමා වී පවතින තත්ත්වයන් තුළ, ඔවුන්ට විශේෂයෙන් පුද්ගලික හෝ රාජ්‍ය ආයතන වල රැකියා වලට ඇතුළු වන විට දැනුවත්භාවයෙන් යුත් අභිමානවත් සේවකයින් මෙන් තම වගකීම ඉටු කිරීමට නොහැකි වී ඇත.

අනෙක් අතට, මොවුන්ගේ නොදැනුවත්භාවය ප්‍රයෝජනයට ගනිමින් පාලකයින්ගේ හා හාම්පුතුන්ගේ අසාධාරණ කොන්දේසි වලට යටත්ව වැඩ කිරීමටත්, සූරා කෑමට ලක් වීමටත් සිදුව ඇත.

පවතින අධ්‍යාපන ක්‍රමය තුළ, සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ළං වන විට, ඒවායින් ඉවත් වී කර්මාන්ශාලා වල රැකියාවන් වලට ඇතුල්වන සංඛ්‍යාව ප්‍රබල ලෙස වර්ධනය වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර එය අඩුකර ගැනීමට හෝ සීමා කිරීමට අර්ථවත් පියවර ගෙන නැත. වැඩි වැටුප් හෝ ආදායම් ලබන රැකියා ලබා ගැනීම සඳහාම විෂයන් තෝරාගෙන ඉගෙනීම ලබන ශිෂ්‍යයන්ටද මෙය අදාළ වන බව අමුතුවෙන් කිවයුතු නැත.

තම පවුලේ දරිද්‍රතාවය නිසාම පාසල් හැරයන සංඛ්‍යාවද වර්ධනය වී ඇත. මොවුන්ගේ දරිද්‍රතාවය සහ නොදැනුවත්භාවය හේතුවෙන් මොවුන්ට අර්ධ වහල්භාවයට ලක්වී සිටීමටත්, මිනිස් අභිමානය හෝ කම්කරු අභිමානය ගැන නොතකා සේවය කිරීමටත් සිදුව ඇත.

මෙම තත්ත්වයන් මඟහැර, සැබෑ පුරවැසියන් ලෙස සේවය කිරීමටත්, ජීවත් වීමටත් මාර්ගය පෑදීම සඳහා ඔවුන්ගේ රැකියාවන් වලට අදාළ නීතිමය තත්ත්වයන්, හිමිකම්, එහි භාවිතයන්, සේව්‍ය - සේවක සම්බන්ධතාවයන් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබිය යුතුය.

මෙම තත්ත්වයන් සියල්ලක්ම සැලකිල්ලට ගනිමින්, ක්ෂේත්‍රගත කම්කරුවන් සහ ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳව මනා දැනුමක් සහ අත්දැකීමක් ඇති ස්වාධීන වෘත්තීය සමිතියක් වශයෙන් අප යෝජනා කර සිටින්නේ පාසල් අධ්‍යාපනික විෂය පද්ධතියට කම්කරු නීති සහ අයිතිවාසිකම් යන විෂයද ඇතුළත් කරන ලෙසයි.

මෙම යෝජනාව පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු වනු ඇතැයි විශ්වාස කරන අතර මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගෙන තිබේනම් ඒ සම්බන්ධයෙන් අප හට දන්වා සිටින ලෙසත් ඉල්ලා සිටිමු.