වෛද්‍ය සංගමය Duty Free වාහන බලපත්‍ර සමග ඉල්ලීම් රැසක් ඉල්ලමින් විරෝධතාවයකට සැරසෙයි

gmoa-strike

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අයවැයට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග දැනුවත් කිරීමේ සතියෙන් ඇරම්භ කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය පද්ධතිය ආර්ථික බංකොලොත්භාවයේදී පවා සිය සෞඛ්‍ය දර්ශක බිඳ වැටීමට ඉඩ ලබා නොදී ඉහළ සෞඛ්‍ය සේවයක් පවත්වා ගැනීමට කටයුතු කරන ලද අතර මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් සුවිශේෂී කැපවීමක් සිදු කරමින් සෞඛ්‍ය පද්ධතියට නායකත්වය ලබාදීම සිදුකරන ලදී.

පසුගිය වසර දෙක තුල පමණක් තමන්ට නියමිත හිමි දිමනා වලින් සැලකිය යුතු කොටසක් කැප කොට රු. ලක්ෂ 44000කට අධික මුදලක් රටට සහ රජයට ඉතිරි කොට දුන් වෘත්තිකයන් ලෙස වෛද්‍යවරුන් ඔවුනට සිදුවන ආර්ථික අසාධාරණයට සාධනිය සහනයක් මෙම අයවැය හරහා බලාපොරොත්තු විය.

නමුත් අතිගරු ජනාධිපතිතුමා විසින් පසුගිය නොවැම්බර් 12 වනදා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය තුලදී වෛද්‍යවරුන්ගේ සියළු සාධාරණ ඉල්ලිම් නොසලකාහැර තිබු අතර ඒ පිළිබදව රටපුරා සමස්ත වෛද්‍ය ප්‍රජාව තුලම දැඩි කැලඹීමක් සහ අප්‍රසාදයක් ඇති විය.

මේ තත්ත්වය මත 2026 නොවැම්බර් 19 වනදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව කැඳවු අතර එහිදි වෛද්‍ය ප්‍රජාව වෙනුවෙන් සහ නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රගමනය වෙනුවෙන් රජයක් ලෙස සිදු කරන්නාවු මුල්‍ය කැපකිරිම අතිවිශිෂ්ඨ අනාගත ආයෝජනයක් වන බවට නිගමනය විය.

  • 2018 දී අනුමත සමස්ථ DAT දිමනාව වහාම ලබාදිම.
  • DAT දිමනාව සහ අමතර රාජකාරි / නිවාඩු දින දීමනා, බදු වලින් නිදහස් කිරිම.
  • වසර 2ක් තිස්සේ අත්හිටුවා තිබෙන අමතර රාජකාරි හා නිවාඩු දින දීමනාවන් වල 1/3 නැවත ගෙවිමට කටයුතු කිරිම.
  • සුදුසුකම් සපුරන ලද වෛද්‍යවරුන් 22/99 චක්‍රලේඛය අනුව ප්‍රවාහන පහසුකම් සදහා අන්තර්ග්‍රහණය කිරිම.
  • වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන පහසුකම් සැපයිම වෙනුවෙන් බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ක්‍රියාත්මක කිරිම.

යන ඉල්ලිම් මෙම අයවැය හරහා ලබා ගැනිමට කටයුතු කිරිමට යෝජනා විය.

ඉදිරි සතිය තුළදී මෙම කරුණු පිළිබඳව ජනාධිපතිතුමාගෙන් සාකච්ඡාවක් බලාපොරොත්තු වන අතර ඉදිරි සතිය තුළදී සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනතාව දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

ඒ් අනුව නොවැ. 23 වන සඳුදා දින දහවල් 12 සිට 2 දක්වා සියළුම ශාඛා සමිති රැස්වීම් කැඳවීමට තීරණය කරන ලද අතර එම කාල සීමාව තුළ හදිසි ප්‍රතිකාර සේවා පවත්වා ගැනීමට කටයුතු කරනු ලැබේ.

ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමේ බලය විධායක සභාවට පවරන ලද අතර ඒ අනුව ඉදිරියේදී විධායක සභාව ඒ පිළිබඳව තීරණය කරනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් පිළිබඳව නිසි අවධානය යොමු කොට සාකච්ඡා මාර්ගයෙන් ගැටළු  විසඳනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය බලාපොරොත්තු වේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image