EPF ප්‍රතිලාභීන්ට සිය සේවාවේ ප්‍රගතිය මාර්ගගතව දැන ගැනීමේ අවස්ථාව උදාවෙයි

EPF ප්‍රතිලාභීන්ට සිය සේවාවේ ප්‍රගතිය මාර්ගගතව දැන ගැනීමේ අවස්ථාව උදාවෙයි

වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව මහජනතාව වෙත සිය සේවාවන් සමීප කිරීමේ අරමුණ ඇතිව, නවීන තාක්ෂණයෙන් සහ වැඩිදියුණු කළ සේවාවන් රැසක් සමගින් අලුතින්ම නිර්මාණය කරන ලද කම්කරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ජනගත කිරීම පසුගියදා නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගොඩනැගිල්ලෙහි පිහිටි එම අමාත්‍යාංශයේදී සිදුවිය.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුණු මෙම නව වෙබ් අඩවිය ඔස්සේ මහජනතාවට පහසුකම් රාශියක් ලබාදී ඇත.

මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට සමගාමීව, සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමට සාමාජිකයන් විසින් ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්වල ප්‍රගතිය (Check claim status) මාර්ගගතව පරීක්ෂා කිරීම සඳහා වන පහසුකම Digital EPF සේවාව හරහා ලබාදීමේ සමාරම්භය ද සිදුවිය.

සංශෝධිත කම්කරු නීතිරීති, සහ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති පිළිබඳ නිවැරදි තොරතුරු පහසුවෙන් ලබාගැනීමේ පහසුවත් සේවක අර්ථසාධක අරමුදල (EPF) ඇතුළු කම්කරු ක්ෂේත්‍රයට අදාළ විවිධ අයදුම්පත්, පඩිපාලක සභා තීරණ, ගැසට් නිවේදන සහ චක්‍රලේඛ ආදිය භාගත (Download) කරගැනීමේ පහසුවත් මෙම නව වෙබ් අඩවිය මගින් සලසා ඇත.

ජංගම දුරකතන සහ පරිගණක මගින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් තමන් කැමති භාෂාවකින් පිවිසිය හැකි මෙම වෙබ් අඩවිය ඔස්සේ තම සේවක අයිතිවාසිකම් සහ රැකියා ස්ථානීය ගැටලු සම්බන්ධයෙන් විද්‍යුත් ක්‍රමවේදය (Online) අනුව අමාත්‍යාංශය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව ද ලබාදී ඇත.

www.labourmin.gov.lk ඔස්සේ වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර මෙම නව Web අඩවිය නිසා අමාත්‍යාංශය යටතේ පවතින කම්කරු දෙපාර්තමේන්තුව, මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය සහ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය යන ආයතනවල Web අඩවි වෙත පිවිසීමේ පහසුකම ද සැලසී ඇත. ඒ අනුව, රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය නිසා මහජනතාවට අමාත්‍යාංශය වෙත නොපැමිණ තමන්ට අවශ්‍ය සේවාවන් රැසක් ලබාගැනීමේ හැකියාව පවතී.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image