EPF/ETF සේවක අරමුදල් ඈවරයි - දෑවරයි !!!

epf-etf-sri-lanka

සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) යනු වැඩකරන ජනයාගේ සම්පූර්ණ අයිතිය සතු ලංකාවේ විශාලතම අරමුදල් ද්විත්වයයි. EPF අරමුදල රුපියල් බිලියන 5,000 ක් සහ ETF අරමුදල රුපියල් බිලියන 600 ට ආසන්න අගයන් ගනී. EPF/ETF අරමුදල් වැඩකරන ජනතාව  හැඳින්වූයේ “‍ෆන්ඩ්”‍ එක යන කෙටි නමින්‍ ය. තුරුණුවියේ සිට ශ්‍රමය වගුරා විශ්‍රාම ගැන්වෙන විට පුද්ගලික අංශයේ සේවකයා ආරක්ෂා කලේ මේ ෆන්ඩ් වලිනි.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් ඒවායේ පවතින පාලන ව්‍යුහය වෙනස් කිරීමට  පසුගියදා  අනුමත කර ඇත. ඒවානම්:

  1.  අර්ථසාධක අරමුදල (EPF) මහ බැංකු පාලනයෙන් ඉවත් කර එය සමාගම්   අයිතිකරුවන්ගෙන් සමන්විත ත්‍රයිපාර්ශවික කමිටුවකට පැවරීම.
  2. මෙය අධ්‍යනය කිරීමට කමිටුවක් පත්කිරීම.
  3. සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය.
  • ඉතිහාසයේ කම්කරු ලේ තවරාගත් පරාජිත ආණ්ඩු මෙම EPF/ETF අරමුදල්, ප්‍රමාණයෙන් අතිවිශාල මුදල් සම්භාරයක් වන නිසාම විවිධ අලංකාර වචන හරඹයන් යොදා දංගෙඩියට දැක්වීමට කටයුතු කලහ. ඒ සියලු‍ අවස්ථාවන්හි මෙරට වැඩකරන ජනතාවගේ මැදිහත්වීම් මත අරමුදල් ආරක්ෂා කිරීමට හැකිවූයේ ලේවලින් වන්දි ගෙවමින් ජීවිත පරිත්‍යාගයෙනි.
  • කටුනායක වෙලඳකලාපයේ දී පොලිස් වෙඩිපහරින් මියගිය රොෂේන් චානක සහෝදරයා අරමුදල රැකගැනීම වෙනුවෙන් තම ජීවිතය පූජා කලේය.

ආණ්ඩුව වසන් කල මහබැංකුව හෙලිකල IMF මගඩිය

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මන්ඩලය EPF/ETF අරමුදල් පාලන ව්‍යුහයන් වෙනස් කිරීමට අත්පොත් තැබූ කැබිනට් පත්‍රිකාව සලකා බැලූවිට, එහි විශාල කුකුසක් සහිත අරම්භයක් ලබාදී ඇත. එම කැබිනට් පත්‍රිකාවට අනුව EPF/ETF අරමුදල් පාලන ව්‍යුහයන් වෙනස් කිරීම,

  1. හාම්පුතුන් සහ සේවකයින් දීර්ඝකාලීනව කල ඉල්ලීමක් බවත්,
  2. ත්‍රයිපාර්ශවීය ජාත්‍යන්තර ප්‍රඥ්ඥප්තිවලට අනුගත කිරීමක් බවත්,
  3. දැනට මහබැංකුව යටතේ සිදුවන මූල්‍ය පාලනය ඉවත් කිරීමට අවැසි බවත්,

                යන ප්‍රධාන කරුණු තුන දක්වා ඇත.

එම ප්‍රධාන කරුණු සිදුකරන්නේ, විනිවිධභාවය, වගකීම, මහජන විශ්වාසය, ආයතනික විශ්වාසය, කාර්යක්ෂමතාවය, අරමුදල්වල තිරසාර පැවැත්ම, යන සුන්දර කන් පුරවන වචන රැසක් ඉදිරිපත් කරමිනි. කම්කරු ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා ඉහත කී වචන පෙළහර පාමින් වැඩ කරන ජනයාගේ දෑස් නිලංකාර කිරීමට කැසකවන විට, මහබැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමේ යෝජනාවට අදාලව ඉදිරිපත් කල අධ්‍යන පත්‍රිකාවේ සෘජුවම මෙම කටයුත්ත සිදුවන්නේ IMF ණය කොන්දේසි මත බව පවසා ඇත.

ආණ්ඩුවේ වෑයම පදනම් විරහිත පුස්සක් ..

ඉහතින් දැක්වූ අලංකාර වචන සියල්ල ආණ්ඩුව ආරම්භයේ සිටම ක්‍රියාවට නංවමින් සිටින්නේ වැඩකරන ජනයාගේ සැකය වැඩිවන අයුරින් ය. ඒවා ඔබගේ දැනගැනීමට මෙලෙසින් පෙලගස්වන්නෙමු.

  1. හාම්පුතුන් සහ සේවකයින්ගේ දීර්ගකාලීන ඉල්ලීමක් ලෙස කීවද සේවකයින් හෝ සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති එවන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව වගකීමෙන් පැවසිය හැකිය. එසේම හාම්පුතුන්ට මෙම අරමුදල් වල ආයෝජනයට මැදිහත්වීමට කිසිදු අයිතියක් නැත. ඒ මෙම අරමුදල් 100% ක් ම එම අරමුදල් වල සාමාජිකයින් සතු මුදල් වන නිසාය. හාම්පුතුන් විශාල සේවක අරමුදල්, කොටස් වෙලඳපොල වැනි සූදු පිටිවල පරදු තබා සිදුවන පාඩුවද අරමුදලේ සාමාජිකයෝ වන ඔබත් මමත් දරාගත යුතුද? ආණ්ඩුව IMF ණය කොන්දේසි සපුරාලමින් හාම්පුතුන්ගේ මනදොල පිනවීමට වැඩකරන ජනයා සතු අරමුදල් පරදු තබන බව තහවුරුය.
  2. ආණ්ඩුව ජාත්‍යන්තර ත්‍රෛපාර්ශවීය ප්‍රඥ්ඥප්තීන් වල අර්ථයන් ව්‍යාජ ලෙස යොදාගෙන ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ත්‍රයිපාර්ශවීය යාන්ත්‍රණයන් ඇත්තේ කම්කරු නීති ස්ථාපනයයේදී සේව්‍ය සේවක රාජ්‍ය යන තුන් පාර්ශවයේම සහභාගීත්වය සහ අදහස් ලබාගැනීමටය. කම්කරු අරමුදල් ආයෝජනයට ත්‍රයිපාර්ශවීය යාන්ත්‍රණ ඇතුලත් කලහොත් හාම්පුතුන් ද සේවක අරමුදල් පාලනයට සහභාගී වනු ඇත. එය නරින්ට කුකුලන් භාරදීම වැනි  බව ඕනෑම අයෙකුට මැනවින්ම වැටහෙනු ඇත. එබැවින් ත්‍රයිපාර්ශවීය යෝජනා හරහා හාම්පුතුන් කම්කරු අරමුදල් පාලනයට රිංගවීම අප තරයේ ප්‍රතික්ශේප කරමු.
  3. EPF අරමුදල දැනට මහ බැංකුව යටතේ සිදුවන මූල්‍ය පාලනයෙන් ඉවත් කිරීම මගින් එහි විනිවිධභාවය, වගකීම, මහජන විශ්වාසය, ආයතනික විශ්වාසය, කාර්යක්ශමතාවය සහ අරමුදල්වල තිරසාර පැවැත්ම යන සුන්දර වචන ඉටුවන්නේ කෙලෙසිකින් දැයි මෙම කැබිනට් පත්‍රිකාවේ  කිසිදු සාධාරණ තහවුරුවක් සිදුකර නැත.

තවද මහබැංකුව තුල පැවතියදී අදාල අරමුදල් වල දූෂණ අක්‍රමිකතා සිදුවී ඇත්නම් කලයුත්තේ 

  1.  දූෂිතයින් ට දඬුවම් දීම
  2. නැවත එවැනි වැරදි සිදු නොවීමට නීති සම්පාදනය විනා අරමුදල පාලනය මහබැංකුවෙන් ඉවත් කිරීම නොවේ.

ආයතනගත පුද්ගලික සේවක අර්ථ සාධක අරමුදල් වල ද පොලී අඩුවීමේ අවදානමක් !

තම ආයතන මට්ටමෙන් පුද්ගලිකව පවත්වාගෙන යනු ලබන සේවක අර්ථසාධක අරමුදල් ද පවතී. එම අරමුදල් වල වාර්ෂිකව සාමාජිකයාට ගෙවනු ලබන පොලිය ලබා ගැනීමට සිදුකරන ආයෝජන පිළිබඳ තීරණය කෙරෙනුයේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයාට ගෙවනු ලබන පොලී අනුපාතය සැලකිල්ලට ගනිමින් ය. සේවක අර්ථ සාධක අරමුදල මහබැංකුවෙන් ගලවා හාම්පුතුන්ගේ සූදුවල පරදු තබා සිදුවන අලාබයන් නිසා සාමාජිකයාට ගෙවන ගාස්තුව අඩුවනු නියතය. එබැවින් ඉහත කී පුද්ගලික අරමුදල් වල පොලී අනුපාතයන් නිතැතින්ම අඩුවනු ඇත.

කෝකටත් තෛලය “දේශපාලන බිල්ලෝ”‍

ආණ්ඩුවේ උප්පරවැට්ටි එලෙසින් සිදුවන අතරතුර, කම්කරු ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡා පිට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ෑඡත්‍රැෑඔත්‍ අරමුදල් රැකගැනීමට කටයුතු කරන අප බොරු බිල්ලන් මවන බවට සහ දේශපාලන විරුද්ධවාදීන් ලෙස චෝදනා කරමින් ඇත. වැඩකරන ජනතාවගේ අරමුදල් රැකගැනීමට සිදුකරන මැදිහත්වීම් “බොරු බිල්ලන්”‍  හෝ “විරුද්ධ දේශපාලනික අභිලාශ”‍ ලෙස ලේබල් ගසා කටයුතු ඉදිරියට යන්නේනම් මෙරට වැඩකරන ජනතාවගේ ප්‍රතිචාරය කෙබඳුදැයි අතීත ක්‍රියාකාරීත්වයන් හොඳින් හදාරා බලන ලෙස අප ආණ්ඩුවට සිහිකර සිටිමු.

ලාංකීය වැඩකරන ජනතා සහතිකය

EPF අරමුදලේ දැවැන්ත ධනස්කන්ධය හාම්පුතුන්ගේ හිත්සැනසීමට ඔවුන්ට රිසිසේ අවභාවිතාකරමින් මඩි තරකරගැනීමට කිසිදු ඉඩක් ආණ්ඩුවකට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට ඉඩ නොතබන බව  ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධන එකතුව ලෙස අප සපතකර සිටිමු.

ජනබලය අවලංගුද?

වංචාව, අක්‍රමිකතාවය සහ දූෂණය යන වචන අතුගා දැමීමට බලය ගත් ආණ්ඩුව හාම්පුතුන්ගේ මනදොල පිරවීමට සේවක විශ්‍රාම අරමුදල් බිල්ලට දීමට සැරසෙන්නේනම් බලය දුන් පදනම අවලංගු කරඇති බවට ජනතාව තීරණය කරනු ඇත.

ස්වාධීන වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව

(ස්වාධීන වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් බෙදාරින ලද පත්‍රිකාවකි)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image