මෙවර අයවැය යෝජනාවලිය හරහා ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය කෙරෙහි සාධනීය බලපෑමක් ඇතිකරන යෝජනාවන් රැසක් ඉදිරිපත් වී ඇති නමුත් ඉදිරිපත්ව ඇති බැලු බැල්මට ගැටළුකාරී යෝජනාවන් කිහිපයක් හරහා සමස්ථ අයවැය ලේඛනයේ සෞඛ්‍ය හා උසස් අධ්‍යාපන යන ක්ෂේත්‍රයන්ට අදාල හරයයන්ට ඍණාත්මක බලපෑමක් එල්ල වී ඇති බව පෙනී යන අතර, මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමටත්, එමගින් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමටත් උරදෙන ඕනෑම සාධනීය ක්‍රියාමාර්ගයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගය හිමිවන අතර ඒ හරහා මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂා කිරීම අප සැමගේ මුඛ්‍ය අරමුණ බව මෙවර අයවැය සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
එම නිවේනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ දැවැන්තම ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයට මුහුණ දෙමින් පවතින මොහොතක ඉදිරිපත් කරන ලද 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.
නොවැම්බර් 14 වන දා ගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව ඉදිරියේ සිදුකරන ලද අයවැය කතාව නිරීක්ෂණයේදී මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට බලපාන යෝජනා කීපයක් ම අන්තර්ගතවී ඇති බව දක්නට ඇත.
මෙවර අයවැය හරහා රුපියල් බිලියන 321 ක ට වැඩි මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් වී ඇති අතර එම අරමුදල් භාවිතා කිරීමේදී දැනට මෙරට සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති උග්‍ර ඖෂධ සහ උපකරණ හිඟය විසඳීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම අනිවාර්යය. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාවය, සංකීර්ණත්වය නිවැරදි කිරීම සහ ඖෂධ ක්ෂේත්‍රය වෙලාගෙන ඇති වංචා හා දූෂණ තුරන් කිරීම හරහා මෙම අරමුදල් කාර්යක්ෂමව සහ ඵලදායීව භාවිතා කර ඖෂධ සහ උපකරණ හිඟයට 2023 වර්ෂයේදීවත් ස්ථිරසාර විසඳුම් ලබාදීම බලධාරීන්ගේ වගකීමකි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද ඉල්ලීමකට අනුව වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා ඇති අවස්ථාවන් පුළුල් කිරීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සහ ක්‍රියාපටිපාටි සකස් කිරීම මෙම අයවැයේ අඩංගු සාධනීය යෝජනාවකි. ඒ අනුව දැනට කොළඹ විශ්ව විද්‍යාලයට පමණක් සීමා වී ඇති වෛද්‍යවරුන් සඳහා වන පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවන් පේරාදෙණිය, රුහුණ සහ යාපනය යන විශ්වවිද්‍යාලයන්හි ද ආරම්භ කිරීමට යෝජනා කර ඇත. මෙමගින් වෛද්‍යවරුන්ගේ දැනුම වර්ධනය වීම හා යාවත්කාලීන වීමත්, කුසලතා වර්ධනය වීමත් හරහා මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවයට ධනාත්මක බලපෑමක් සිදු වනු ඇත.
එමෙන්ම විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය පිළිබඳ තහවුරු කිරීමට තත්ත්ව සහතික හා ප්‍රතීතන මණ්ඩලයක් පිහිටුවීම ද මෙවර අයවැය යෝජනාවකි. මින් පෙර ද මෙබඳුම ව්‍යුහයක් පිහිටුවීමට උත්සාහ කළ අතර එමගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතිවන අහිතකර බලපෑම් හේතුවෙන් ඊට බොහෝ පාර්ශවයන් විරුද්ධ විය. මෙවර පිහිටුවීමට යෝජිත ව්‍යුහය සහ එහි කාර්යභාරය සම්බන්ධයෙන් අප දැඩි අවධානයෙන් සිටින අතර නැවතත් ඉදිරියට එන්නේ පෙර යෝජිත තත්ත්ව සහතික සහ ප්‍රතීතන මණ්ඩලයම නම් ඊට විරුද්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද පසුබට නොවෙමු.
දැනට පවතින රාජ්‍ය වෛද්‍ය පීඨ වලට අමතරව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය යටතේ ද වෛද්‍ය පීඨයක් අලුතින් ආරම්භ කිරීමට යෝජනා කිරීම සාධනීය යෝජනාවකි. ඊට අනුරූපව බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට යෝජනා කර ඇති අතර කුරුණෑගල සහ පොළොන්නරුව රෝහල ද ශික්ෂණ රෝහල් බවට උසස් කිරීම මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රුකුලකි.
රජයේ රෝහල් වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීම බොහෝ දෙනා තුල ප්‍රශ්නාර්ථ මතු කර ඇති යෝජනාවකි. දැනටත් කොළඹ ජාතික රෝහල තුල මෙම සංකල්පය යම් යම් සීමාවන් තුල පවත්වාගෙන යාම සිදු වෙයි.
එහෙත් මූලික රෝහල් ආශ්‍රිතව ගෙවීමේ වාට්ටු සංකල්පයක් ක්‍රියාත්මක කිරීම හරහා මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට ඇතිවන බලපෑම මෙන්ම ඊට මුවා වී සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමේ තැතක් ක්‍රියාත්මක වන්නේද යන්න පිලිබඳවත් අපි අවධානයෙන් සිටිමු.
පවතින ආර්ථික අර්බුදය සහ ආහාර අර්බුදය හමුවේ මෙරට අවදානම් ජන කොට්ඨාස සහ කණ්ඩායම් අතර මන්දපෝෂණය සීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම අවධාරණය කරන ලදී. මෙම ගැටළුව මෙවර අයවැය ලේඛනය හරහා හඳුනාගෙන ඇති අතර එය විසඳීම අරමුණු කරගනිමින්, පවත්නා පෝෂණ අතිරේක වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම ධනාත්මක යෝජනාවකි. එහෙත් මෙම වැඩසටහන් අවදානම් ජන කොටස්, කාණ්ඩ සහ ප්‍රදේශ හඳුනා ගනිමින් ඉලක්කගත වැඩසටහන් ලෙස ක්‍රියාත්මක කිරීම වඩා ප්‍රතිඵලදායි වේ.
බදු ආදායම් වැඩිකර ගැනීම හරහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීම මෙවර අයවැයේ ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති යෝජනාවකි. ඊට අනුරූපව සංශෝධිත දේශීය ආදායම් පනත සඳහා වන සංශෝධනයන් ඉදිරියේදී පාර්ලිමේන්තුව හමුවට පැමිණීමට නියමිතය. එමගින් ඉදිරිපත් කර ඇති අසාධාරණ සහ අත්තනෝමතික බදු වැඩසටහන් හේතුවෙන් මෙරට සේවා නියුක්තිකයින් සහ වෘත්තිකයින් දැඩි පීඩනයට, කැලඹීමට සහ ඉච්ඡාභංගත්වයට පත්ව ඇත. එය මෙරට වෛද්‍යවරුන් ඇතුලු වෘත්තිකයන් රට හැර යාම වේගවත් කිරීමට ද හේතුවක් වී ඇත. එබැවින් එම අසාධාරණ බදු ප්‍රතිපත්තීන් සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස අපි සලකනු ලබන අතර ඊට අදාළ අපගේ යෝජනාවන්ද වගකිව යුතු පාර්ශ්වයන් වෙත ලබාදී ඇත. බදු එක්රැස් කිරීම පමණක් නොව ජනතාවගේ බදු මුදල් පාරදෘශ්‍ය සහ විනිවිදභාවයෙන් යුතුව වියදම් කිරීම සහ විගණනය වීම සම්බන්ධයෙන්ද වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත්විය යුතු බව අපගේ හැඟීමයි.
වඩා වැදගත් වනුයේ ප්‍රතිපත්තින්, යෝජනාවන් සහ වැඩසටහන් ප්‍රකාශයට පත්කිරීමට වඩා එම යෝජනාවන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි. මෙවර අයවැය යෝජනාවලිය හරහා ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය කෙරෙහි සාධනීය බලපෑමක් ඇතිකරන යෝජනාවන් රැසක් ඉදිරිපත් වී ඇති නමුත් ඉදිරිපත්ව ඇති බැලු බැල්මට ගැටළුකාරී යෝජනාවන් කිහිපයක් හරහා සමස්ථ අයවැය ලේඛනයේ සෞඛ්‍ය හා උසස් අධ්‍යාපන යන ක්ෂේත්‍රයන්ට අදාල හරයයන්ට ඍණාත්මක බලපෑමක් එල්ල වී ඇති බව පෙනී යයි.
මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමටත්, එමගින් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමටත් උරදෙන ඕනෑම සාධනීය ක්‍රියාමාර්ගයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගය හිමිවන අතර ඒ හරහා මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂා කිරීම අප සැමගේ මුඛ්‍ය අරමුණයි.