වෛද්‍යවරුන් රට හැර යාම හරහා මතු වෙමින් පවතින සෞඛ්‍ය පද්ධතියේ ඛේදවාචකය වලක්වා ගැනීම සඳහා වන විසඳුම් වහා ඉදිරිපත් කරන ලෙස බලධාරින් වෙත අවධාරණය කිරීමට ඒ සම්බන්ධයෙන් (23) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභාව තුල ගනු ලබන තින්දු තීරණ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් වේගවත් වී ඇති වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ විශාල අර්බුදයක් නිර්මාණය කරමින් පවතී.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද දත්ත වලට අනුව 2022 වර්ෂයේ ජුනි මාසයෙන් අනතුරුව ගෙවුණු වසරක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 274 ක් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 850 ක් සෞඛ්‍ය පද්ධතියෙන් ඉවත්ව විදෙස්ගත වී ඇති බව සඳහන් කළද, සැබෑ අගය ඊටත් වඩා වැඩි බව අපට ලැබෙන තොරතුරු තහවුරු කර ඇත.
සංවර්ධිත රාජ්‍යයන් තුළ ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් කෙරෙහි විශාල ඉල්ලුමක් ඇති අතර, එම රටවල්හි වෛද්‍යවරුන් ලෙස සේවය කිරීම සඳහා විශාල අවස්ථා ප්‍රමාණයක්ද නිර්මාණය වී ඇත. එසේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ මැදපෙරදිග රාජ්‍යයන්හි වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට අවශ්‍ය සුදුසුකම් සැපිරූ වෛද්‍යවරුන් 5000 ක් තවම ශ්‍රී ලංකාව තුල රැඳී සිටීම හරහා ඉදිරියේදී මෙම ගැටලුව තවත් උග්‍ර විය හැකි බවට බරපතල ඉඟියක් ලබා දී ඇත.
මෙරටින් දැනටමත් ඉවත්ව ගොස් ඇති දහසකට අධික වෛද්‍යවරුන් කෙරෙහි අවධානය යොමු කරනවාටත් වඩා මේ මොහොතේ දී ප්‍රමුඛතාවය ලැබිය යුත්තේ තවමත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීම සඳහා තීරණය කර ඇති අතිමහත් බහුතර වෛද්‍යවරුන් පිරිස රට තුළ රැඳී සිටීම දිරිමත් කෙරෙන වැඩපිලිවෙලක් නිර්මාණය කිරීම කෙරෙහිය.
වෙළඳපොළ වටිනාකම මත පදනම් වූ නව වැටුප් ව්‍යුහයක් වෛද්‍යවරුන්ට නිර්මාණය කිරීම ඇතුළු අට වැදෑරුම් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ වන විටත් සියලු පාර්ශව වෙත ඉදිරිපත් කර ඇත.
වෛද්‍යවරුන් රට හැර යාම හරහා උද්ගත වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයත්, එය විසඳීම සඳහා යෝජිත නව වැටුප් ව්‍යුහය ඇතුළු විසඳුම් මාලාවත් සම්බන්ධයෙන් අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර, එහිදී පහත තීන්දු තීරණයන්ට එළඹෙන ලදී.
බුද්ධිගලනයේ අවසන් හානිය සමස්ත පොදු මහජනතාව වෙත බව පැහැදිලිය.
එය වලක්වා ගැනීමට අනුගමනය කළ යුතු සාධනීය ක්‍රියාමාර්ග කරා යොමු වීම පුරවැසියන්ගේ ජිවිත වලට වගකිව යුතු රජයක යුතුකමකි. එම යුතුකම හා වගකීම ඉටු කරන මෙන් බලධාරීන්ට අවධාරණය කරමු.
ඒ සඳහා ප්‍රමාද වන සෑම මොහොතක් හරහාම අර්බුදය ඛේදවාචකයකින් කෙලවර වීම වඩා ඉක්මන් වනු ඇත. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා සංගමයක් ලෙස ගත හැකි හා ගත යුතු සියලු බරපතල ක්‍රියාමාර්ග කරා යොමු වීමට කිසිසේත්ම පසුබට නොවන බව යලි යලිත් අවධරාණය කරමු.
