GMOA දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයට සැරසෙයි

GMOA දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයට සැරසෙයි

විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින වෛද්‍ය නිලධාරීන් තවදුරටත් රට තුළ රඳවා ගැනීමට රජය විසින් ගතහැකි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර ඇත්තේ, බුද්ධිගලනය පිළිබඳ කාලීන ප්‍රශ්නය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දෑස් පියාගෙන සිටින බවක් පෙනෙන බවයි.

ඒ අනුව නොවැම්බර් 01 වැනිදා සිට ප්‍රභූ සෞඛ්‍ය ආරක්‍ෂක මෙහෙයුම් සඳහා භාවිත වන ජංගම ගිලන්රථ සේවාවලින් නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමටත්, නැවත දැනුම් දෙන තුරු රෝහල් රාජකාරිවලින් බැහැර සැලසුම් කෙරෙන ජංගම සායන ඇතුළු වෙනත් අදාළ නොවන රාජකාරි කටයුතුවලින් ඉවත් වීමටත් GMOA තීරණය කර ඇත.

මීට අමතරව, GMOA විසින් මීට පෙර ඉදිරිපත් කළ යෝජිත විසඳුම් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පළ කරමින් නොවැම්බර් 01 වැනිදායින් පසු පළාත් මට්ටමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ඇත.

බුද්ධි ගලනය, සෞඛ්‍ය අර්බුදය සහ වෛද්‍යවරුන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් පියවර අටකින් යුත් යෝජනාවක් GMOA විසින් මීට පෙර ජනාධිපතිවරයාට භාරදෙන ලදී.

(ceylonwire)