GMOA වර්ජනය දා බිළිදෙකු මියයාමේ සිද්ධිය: ත්‍රී,මලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

GMOA වර්ජනය දා බිළිදෙකු මියයාමේ සිද්ධිය: ත්‍රී,මලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්
  • වාට්ටුව භාර වෛද්‍යවරිය අවස්ථා හයකදී දුරකථනයෙන් දැනුවත් කළ ද, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා  සුත්‍රිකාගාරයට පැමිණ නැහැ !
  • ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරිය එම මොහොතේ ආසන්න පෞද්ගලික රෝහලක වැඩ !
  • සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියගේ වැඩ තහනම් කරයි !
  • ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ GMOA වෘත්තීය සමිතියේ සභාපති !

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) වැඩවර්ජනයක් දියත් කර තිබූ පසුගිය අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේනගේ සහ ජ්‍යෙස්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී සියඹලාපිටියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය 08 වනදා පියවර ගෙන තිබේ.

බිළිඳෙකු මියයාමේ සිදුවීම පදනම් කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය මූලික විමර්ශනයක් ආරම්භ කර තිබිණි. අදාළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සූතිකාගාරයේදී මවක අප්‍රේල් 09 වනදින පෙරවරු 8.45ට පමණ දරු ප්‍රසූතියේදි දරුවාට අසූචි පෙවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නේවාසික වෛද්‍යවරිය අවස්ථා 06ක් දැනුවත් කර තිබුණද ඊට සහභාගී නොවී රාජකාරි පැහැර හර ඇති බවත්ය.

එමෙන්ම එම දරු ප්‍රසූතිය සඳහා සහභාගී නොවීමෙන් ඇයගේ කුසේ සිටි දරුවාට අනතුරක් සිදුවීමට ඉඩ හැරීම හා එම කාලය තුළදීම ආසන්න පෞද්ගලික රෝහලක වෙනත් මවකගේ සිසේරියන් සැත්කමක් සිදු කිරීමට අදාළ වෛද්‍යවරයා සහභාගී වී ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව, රාජකාරි වේලාවේදී පෞද්ගලික සේවයේ යෙදීම යන චෝදනාවද තහවුරු වී ඇති අතර එම අවස්ථාවේදී රෝහලේ රාජකාරි සිදුකළ බවට දිනපොතේ අසත්‍ය සටහනක් යෙදීම යන කරුණුද අනාවරණය වී තිබේ.

මෙලෙස ඔවුන් විසින් සිදුකරන ලද විෂමාචාර ක්‍රියා හේතුවෙන් මෙම වැඩ තහනමට අදාළ වෛද්‍යවරුන් ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පියවර ගෙන ඇත.

මෙම ප්‍රසව හා නාරිවේද විශෙෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති බවද වාර්තා වේ.

(the leader)