ගත වූ දෙවසර තුළ මෙරට සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට හැකි වූ බව කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ වෙනුවෙන් අවම වශයෙන් වසර පහක පමණ කාලයක් ගතවනු ඇති බවට ඇතැම් ආර්ථික විශේෂඥයන් මීට පෙර පුරෝකථනය කර තිබූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය, සහයෝගය සහ කැපවීම හේතුවෙන් කඩිනමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ ගොඩනැගීමට හැකි වූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමඟ 2026 - 2032 කාල පරාසය සඳහා වූ සුනිසි රැකියා ජාතික වැඩසටහන (Decent Work Country Program) වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමේ නිල උත්සවයට (30) දින කම්කරු අමාත්‍යාංශයේදී සහභාගි වෙමිනි.
මෙම අවස්ථාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා ජොනී සිම්ප්සන් , මෙරට නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා යන මහත්ම මහත්මීන් මෙන්ම ලංකා හාම්පුතුන්ගේ සංගමයේ සහ වෘත්තීය සමිති නායකයින් රැසක්ද එක්ව සිටියහ.
සුනිසි රැකියා ජාතික වැඩසටහන යනු රජය, සේවායෝජක සංවිධාන සහ වෘත්තීය සමිති අතර එකඟතාවයෙන්, රැකියා උත්පාදනය, ශ්‍රම ප්‍රමිති හා රැකියා ස්ථානයේ අයිතිවාසිකම්, සමාජ ආරක්ෂාව සහ සමාජ සංවාදය ආදී වැඩ ලෝකයේ පොදු ප්‍රමුඛතා ඉලක්ක කරගනිමින් වසර කිහිපයක් සඳහා සකස් කෙරෙන වැඩසටහනකි.
එය රජය, වෘත්තීය සමිති සහ සේවායෝජකයින්ගේ එකඟතාවයෙන් සකස් කෙරේ.
මෙම අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
“දැන් අප ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ මෙම ආර්ථික ස්ථාවරත්වයෙන් ඉදිරියට ගොස්, ආර්ථික පරිවර්තනයක් කරා රට මෙහෙයවන්නේ කෙසේද යන්න පිළිබඳව නිසි උපායමාර්ග සකස් කිරීමයි. එම පරිවර්තනය ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව තුළ ප්‍රකාශිත ප්‍රධාන අරමුණ සමඟ අනුකූල විය යුතුය.
මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම දිගු ගමනකි. එහි ප්‍රධාන කුලුනක් වන්නේ ආර්ථික වර්ධනය හා සංවර්ධනයයි. එවැනි ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයක් නොමැතිව මෙම උදාර හා පුළුල් අරමුණ සාක්ෂාත් කර ගැනීම අතිශයින් දුෂ්කර වනු ඇත.
අප ඉදිරිපත් කළ අයවැය තුළද සියලු දෙනා ඇතුළත් කරගත් සහ තිරසර ආර්ථික වර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබා දී තිබේ.
පෙර සහ වර්තමාන තත්ත්වයන්ගෙන් ලැබුණු ප්‍රතිඵල සහ රටේ පවතින විශේෂිත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් 2027 වසර සඳහා වන මීළඟ අයවැයද අප මේ වන විට සකස් කරමින් සිටිමු. එයද මේ වසර තුළ ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සඳහා මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන තිබේ.
මෙහිදී සුනිසි රැකියාව (Decent Work) යන සංකල්පය අතිශයින් වැදගත් වේ. ගෞරවනීය රැකියාවේ වැදගත්කම සහ එහි මූලික අංග පිළිබඳව ඔබ සියලු දෙනා හොඳින් දැනුවත්ය. එය රැකියා පරිසරය සමඟ සම්බන්ධ වන්නේ කෙසේද, කම්කරු අයිතිවාසිකම් සමඟ සම්බන්ධ වන්නේ කෙසේද සහ සුදුසු පාලන යාන්ත්‍රණයක් හරහා සුනිසි රැකියා පරිසරයක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව අපට පැහැදිලි අවබෝධයක් තිබේ. එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳවද අප දනිමු.
අනෙක් අතට, ‘සුනිසි රැකියා’ යන යෙදුමේ ‘සුනිසි’ යන්න ඉතා නිශ්චිත අර්ථයකින් පමණක් විස්තර කළ නොහැකි බව ඇතැමුන් තර්ක කළ හැකිය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සන්දර්භය තුළ එය ගරුත්වය, අයිතිවාසිකම්, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වැනි කරුණු සමඟ සම්බන්ධ කර විග්‍රහ කළ හැකිය.
ඒ අනුව, මෙම අවබෝධතා ගිවිසුම සහ සුනිසි රැකියා ජාතික වැඩසටහන එම අරමුණු සහයෝගීතාවයෙන් සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇති බව අපගේ විශ්වාසයයි.”
මෙම අවස්ථාවට එක්වෙමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා ජොනී සිම්ප්සන් මෙනෙවිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික හා සමාජ අභියෝග පිරි කාලයක් පසු කළ බවයි.
මෙම අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය, ව්‍යවසාය සහ ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව දැකගැනීමට හැකි වූ බවද ඇය පෙන්වා දුන්නාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජොනී සිම්ප්සන් මෙනෙවිය මෙසේ පැවසුවාය.
“කම්කරු ක්ෂේත්‍රයේ විවිධ ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමේදී සංවාදය, සහයෝගිතාව සහ හවුල්කාරිත්වයන්ගේ වැදගත්කම ද අපි දුටුවෙමු.
රට සම්පූර්ණ යථා තත්ත්වයට පත්වීම, පරිවර්තනය සහ තිරසාර සමෘද්ධිය කරා ගමන් කරන වර්තමානයේ, සුනිසි රැකියා යනු සංවර්ධනයේ ප්‍රතිඵලයක් පමණක් නොව, එහි පදනම යන්න තහවුරු කිරීමට අවස්ථාවක් තිබේ. එනම්, ඵලදායි රැකියා සහ තිරසාර ව්‍යවසායන් හරහා සුනිසි රැකියා පුළුල් කිරීම හා ශ්‍රම වෙළෙඳපොළ ආයතන සහ සමාජ සංවාදය ශක්තිමත් කිරීමයි.
එයින් අදහස් වන්නේ රැකියා ස්ථානයේ මූලික මූලධර්ම සහ අයිතිවාසිකම් පහ ආරක්ෂා කිරීම ද වනවා. ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක් සඳහා ඇති අයිතිය තහවුරු කිරීම, රැකියා සහ රැකියා ස්ථානයේ සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීම, වෘත්තීය සමිති නිදහස සහ සාමූහික කේවල් කිරීමේ අයිතිය සහතික කිරීම, සහ බලහත්කාර ශ්‍රමය හා සියලු ආකාරයේ අනිවාර්ය ශ්‍රමය සහ ළමා ශ්‍රමය වැළැක්වීම හා ඒවාට විසඳුම් සෙවීමද අතිශය වැදගත්.
මෙහිදී එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDG) 8.7 සම්මුතිය යටතේ ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇති අතර, ශ්‍රී ලංකාව මඟපෙන්වන (pathfinder) රටක් ලෙසද කටයුතු කරනවා.”
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු දෙස් විදෙස් නියෝජිතයින් රැසක්ද එක්ව සිටියහ.
